නෙත් සිත් පහන් කරන වාරණ රජ මහා විහාරය

වාරණ රජමහා විහාරය 🙏🙏🙏

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැරණි බෞද්ධ සිද්ධස්ථානයන් රැසක් පිහිටා තිබෙනවා.ඒ සමහර සිද්ධස්ථානවල ඉතිහාසය අනුරාධපුර යුගය දක්වාම දිවයනවා. අනුරාධපුර යුගයේ මුල් අවධියේ ඉදිවුණු පැරණි විහාරස්ථානයක් අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මංගලතිරිය නම් ග්‍රාමයේ පිහිටා තිබෙනවා. සුන්දර ගල් පර්වතයක් මත ඉදිව තිබෙන එම විහාරය ප්‍රසිද්ධව ඇත්තේ “වාරණ රජමහා විහාරය” නමින්.

⚫ වාරණ විහාරයට යන ගමන් මාර්ග

වාරණ රජමහා විහාරය වෙත ගමන් කළ හැකි ප්‍රධාන මාර්ගයන් 2ක් තිබෙනවා. ඉන් පළමු ගමන් මාර්ගය වන්නේ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල නගරය පසුකර ගිය විට හමුවන ගම්පහ-ගොරකදෙනිය බස් මාර්ගය ඔස්සේ වාරණ රජ මහා විහාරය වෙත ළඟාවීම යි. එසේම කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ හමුවන තිහාරිය මංසන්ධියෙන් හැරී නිට්ටඹුව-ඕගොඩපොළ බස් මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් ද සුන්දර වාරණ රජමහා විහාරය වෙත ළඟාවන්නට පුළුවන්.

⚫“වාරණ” යන නම ලැබීමට හේතු

වාරණ රජමහා විහාරය මංගලතිරිය නම් ගමේ පිහිටා තිබෙන නිසා මුල් යුගයේ දී එය “මංගල රජමහා විහාරය” නමින් හැඳින්වුණා. නමුත් පසුකලෙක මෙම විහාරයට “වාරණ” යන නම ලැබීමට හේතු කිහිපයක් බලපෑවා. ඉන් මුල්ම හේතුව වන්නේ මෙම රජමහා විහාරය පිහිටි පර්වතය හස්තියෙකුගේ හැඩය ගැනීම යි. වාරණ යන වචනය හස්තියාට කියන සමාන වචනයක් නිසා මෙම විහාරයට “වාරණ රජමහා විහාරය” යන නම පටබැඳුණු බවට විශ්වාසයක් පවතිනවා. එසේම මෙම විහාරය පිහිටි භූමියේ අතීතයේ දී වා නමින් හැඳින්වූ ගස් වර්ගයක් බහුලව දක්නට ලැබුණු නිසා වා-අරණ යන වචනයෙන් බිඳී වාරණ යන නම සෑදෙන්නට ඇති බව තවත් විශ්වාසයක්.

දංගල්ලේ අත්ථදස්සී නම් මහා පඬිරුවනක් මෙම විහාරස්ථානයේ අධිපතිව සිටි කාල සමයේ වරින් වර පැමිණෙන පක්ෂියෙකු ඉඩම්ගල නම් ස්ථානයේ ලැඟුම් ගැනීමට හුරුව සිට තිබෙනවා. එම පක්ෂියා හිමාලයෙන් පැමිණි ඇත්කඳ ලිහිණියෙකු නිසා මෙම විහාරයට වාරණ යන නම ලැබුණු බව තවත් ජනප්‍රවාදයක්.

⚫ විහාරය ආරම්භ වුණු ආකාරය

වාරණ රජමහා විහාර භූමියේ පිහිටා තිබෙන ඉඩම්ගලට නැගෙනහිරින් පිහිටි දිග්ගලේ පැරණි ශිලා ලිපියක් දක්නට ලැබෙනවා. වාරණ රජමහා විහාරය පිහිටා තිබෙන ප්‍රදේශයේ ක්‍රි. පූ. 6 වන සියවස පමණ වන විට මානව ජනාවාස පිහිටා තිබුණු බවට එය සාධක සපයනවා. එසේම වාරණ ප්‍රදේශය නව ශිලා යුගයේ දී ආදි මානවයන් ජීවත්වුණු ප්‍රදේශයක් බවට විශ්වාසයක් පවතිනවා. එනිසා ක්‍රි. පූ. 3 වන සියවසේ දී ලංකාවට බුදු දහම ලැබෙන විට මෙම ප්‍රදේශයේ ජනාවාස තිබෙන්නට ඇති.

එකල බුද්ධාගම ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් දේවානම් පියතිස්ස රජතුමා රටපුරා කුඩා විහාරස්ථාන කරවූ බව මහාවංසයේ සඳහන් වනවා. එම යුගය වන විට වාරණ ප්‍රදේශයේ මානව ජනාවාස පිහිටා තිබුණු නිසා මෙහි විහාරයක් කරවන්නට ඇති බවට ඉතිහාසඥයන් මත පළ කරනවා. රජතුමා ඉදිකරවූ විහාරස්ථානය තිස්සදත්ත නම් තෙරුන් වහන්සේ නමකට පූජාකළ බව එහි ඇති ශිලා ලිපියක සටහන් වී තිබෙනවා.

⚫ වාරණ රජමහා විහාරය දියුණු කළ රජවරුන්

දේවානම්පියතිස්ස රජ සමයේ දී ඉදිවුණු වාරණ රජමහා විහාරය පිළිබඳව යළි කතාබහට ලක්වුණේ වලගම්බා රාජ්‍ය සමයේ දී යි. දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් අනුරාධපුරය ආක්‍රමණය කළ අවස්ථාවේ දී පළාගිය වලගම්බා රජතුමා ප්‍රදේශ රැසක සැඟවී සිටිමින් සිය රාජධානිය බේරාගැනීම සඳහා සේනාව සංවිධානය කළා. එම කාලයේ රජතුමා මායා රටේ පිහිටි ඉතා ආරක්ෂිත පෙදෙසක් වූ, වාරණ රජමහා විහාරය පිහිටි ප්‍රදේශයේ ද වසර කිහිපයක් සැඟවී සිටි බව කියැවෙනවා.

එදා සැඟවී සිටිමින් සේනා සංවිධානය කළ වලගම්බා රජතුමා අවසානයේ දී දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් අනුරාධපුර රාජධානිය බේරාගත්තා. ඔහුට සෙවණ දුන් වාරණ පූජා භූමියට පුද සත්කාර කිරීමට රජතුමා අමතක කළේ නැහැ. වාරණ විහාරය දියුණු කළ වලගම්බා රජතුමා එය අංගසම්පූර්ණ විහාරයක් බවට පත්කරනු ලැබුවා.

වලගම්බා රාජ්‍ය සමයෙන් පසුව යළි වාරණ විහාරයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ කාලයේ දී යි. නිශ්ශංකමල්ල රජතුමා මෙම විහාරය තුළ විශාල විහාර මන්දිරයක් කරවා එහි 18 රියනක් උස පිළිම වහන්සේ නමක් තැන්පත් කළ බව ඉතිහාස පොත්වල ලියැවී තිබෙනවා. එතුමා එම විහාර ගෙය තුළ විචිත්‍රවත් සිතුවම් ද නිර්මාණය කළ බව එහි වැඩිදුරටත් සඳහන්. ඊට අමතරව දඹදෙණිය යුගයේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා ද මෙම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළා.

ඒ අයුරින් ක්‍රමයෙන් දියුණුවට පත්වුණු වාරණ රජමහා විහාරයයේ ස්වර්ණමය යුගය උදාවුණේ හයවන පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ රාජධානියේ පාලකයා බවට පත්වීමෙන් පසුව යි. මෙරට ඉතිහාසය තුළ බිහිවුණු දක්ෂතම පාලකයෙකු වශයෙන් නමක් දිනාගත් 6 වන පරාක්‍රමබාහු රජතුමා ලංකාව එක්සේසත් කළ අවසන් රජතුමා වශයෙන් ඉතිහාසගත වුණා. රටේ සාමය ආරක්ෂා කරමින් පාලන කටයුතු සිදුකළ එම රජතුමා සිය රාජ්‍ය කාලය තුළ විශාල ශාසනික සේවාවක් සිදුකළා. සවන පැරකුම්බා රජතුමා අතින් ප්‍රතිසංස්කරණය වුණු විහාරස්ථාන අතරට වාරණ රජමහා විහාරය ද අයත් වුණා. පරාක්‍රමබාහු රජතුමා මෙම විහාරස්ථානයට සිදුකළ සේවය පිළිබඳව අල්පිටිගේ පාරම්පරික තඹ සන්නසේ ලියැවී තිබෙනවා.

දියුණුවට පත්ව තිබුණු වාරණ රජමහා විහාරයට අභාග්‍යසම්පන්න යුගයක් උදාවුණේ සීතාවක රාජසිංහ යුගයේ දී යි. එදා රාජසිංහ රජතුමා අරිට්ථ කිවේණ්ඩු නම් ශිව පූජකයාගේ බස් අසා බෞද්ධ විහාර විනාශ කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාරණ විහාරය ද පරිහාණියට ලක්වුණා. පසු කලෙක උඩරට රාජධානිය පාලනය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර කෙත්වතු පූජා කළ බව ඉතිහාස පොත්වල ලියැවී තිබෙනවා.

විහාරය තුළ නැරඹීමට තිබෙන දේවල් මෙම විහාරය තුළ පහත මළුව, මැද මළුව, සහ උඩ මළුව යනුවෙන් කොටස් තුනක් දක්නට ලැබෙනවා. ඉන් පහත මළුවේ, අඩි 100කටත් වඩා උසකින් යුත් “ඉඩම්ගල නම් පර්වතය පිහිටා තිබෙනවා. එය අක්කරයකට වඩා වැඩි භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින්නක්. තුන් පැත්තකින් ගලලෙන් පිහිටා තිබෙන එය අලංකාර අයුරින් දිස්වනවා. එම ස්ථානයට නැගෙනහිර දෙසින් තවත් විශාල ගල්තලාවක් පිහිටා තිබෙනවා. “දිග්ගල” යනුවෙන් හඳුන්වනු ලබන එම ස්ථානයේ ශිලා ලිපිය දක්නට ලැබෙනවා. එසේම ආවාස ගෙයක් සහ ධර්ම ශාලාවක් සහිත ලෙනක් එම මළුවේ දක්නට ලැබෙනවා.

විහාරයේ මැද මළුවේ ලෙන තුළ පිහිටි විහාරයක් දක්නට ලැබෙනවා. ලෙන අසල චෛත්‍යයක් පිහිටා තිබෙනවා. ඊට අමතරව පොහොය ගෙයක් ද එම මළුවේ ඉදිකර තිබෙනවා. තව ද මැද මළුවේ අලංකාර සඳකඩ පහන් හතරක් දක්නට ලැබෙනවා.

වාරණ රජමහා විහාරයේ උඩ මළුවට ගිය කෙනෙකුට එහි තිබෙන ලෙන් විහාරය, ලෙන් ආවාසය, පොකුණ සහ පැරණි ගල්ලෙන වැනි දේවල් දැකගන්නට පුළුවන්.

වාරණ රජමහා විහාරයේ විශාල නටබුන් ප්‍රමාණයක් දක්නට ලැබෙන නිසා සංචාරකයන් නිතරම මෙම විහාරය නැරඹීම සඳහා පැමිණෙනවා. ඔබ තවමත් වාරණ පුදබිමට ගොස් නැති නම්, විවේකී දිනයක එහි ගොස් අසිරිය දැකබලා ගන්නා ලෙස අප ඔබට යෝජනා කරනවා.

උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය 🌹

Exit mobile version