“නෝනට කියපන් ගෙදර අස් කරලා තියා ගන්න කියල. උඹට අවුරුදු කන්න ඉඩ තියන්නේ නෑ”. තවත් මාධ්‍යවේදියෙකුට තර්ජන.

ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කල ප්‍රහාරයේ අපරාධකරුවන් කවුරුන්දැයි සොයාගැනීමට පොලිසිය තවමත් අසමත්වීමේ ක්‍රියාවලියත් සමගම අරුණ පුවත් කතෘ චමින්ද සේනාරත්න මහතාටද දුරකථන ඇමතුම් ඔස්සේ මරණීය තර්ජන එල්ල කර තිබෙන බව වාර්තා වේ.

පපසුගිය 18 වැනිදා පස්වරුවේ ඔහුගේ ජංගම දුරකතනයට මෙම තරජනාත්මක ඇමතුම් ලැබී ඇත. දුරකථන අංක 0712293495 සහ 00916282807305 යන දුරකථන අංක ඔස්සේ මෙසේ තර්ජන කර තිබේ.

පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වන්නේ, ” උඹට වැඩක් නෑ අපේ ලොක්ක හම්බ කරන විදිය. ඇයි මඩ ගහන්නේ. උඹ ඉන්න තැන අපි ඔක්කොම හොයා ගත්තා. නෝනට කියපන් ගෙදර අස් කරලා තියන්න කියලා. උඹට අවුරුදු කන්න ඉඩ තියන්නේ නැහැ. ” ලෙස මුල් තර්ජනයෙන් කියා තිබේ.

ඉන් පසුව පැමිණි දෙවෙනි ඇමතුමෙන් කියා වී ඇත්තේ ” ඇයි තමුසේ එස් පී මහත්තයට මඩ ගහන්නේ. තොට සති තුනක් දෙනවා. හොඳට හුස්ම ගනින්. ගෙදර අස් පස් කරලා තබා ගනින්. ” යයි දෙවෙනිව ලබා දුන් ඇමතුමෙන් තර්ජනය කරමින් කියා තිබේ.

මේ තර්ජනය කුමක් නිසා එල්ල වුයේ දැයි සොයා බලන ලෙසද, තමාගේ සහ තම නිවැසියන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසද ඔහු තම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

රාවණා සටහන

මෙසේ දුරකථන තුලින්ම තර්ජනය කලේ නම් ඔවුන් කවුරුන්දැයි සොයා ගැනීමට පොලිසියට මහා ලොකු දෙයක් නොවේ. නමුත් මෙහි කියවෙන්නේ එස් පී කෙනෙකුගේ නමකි. දුරකතන වලින්ම තර්ජන කිරීම පිටුපස යම් දැවැන්ත හස්තයක් සිටිය හැකිය. එසේ නොමැතිනම් මෙයද යම් කුමන්ත්‍රණයක්ද විය හැකිය. එහෙත් එකම කතාව දුරකථන අංක දෙකකින් ප්‍රකාශ කරන විට දෙවරක් නොව දහසක් දේ ගැන සිතීමට කරුණු තිබේ. SP යනු පොලිස් නිලධාරියෙක්ද විය හැකිය. එසේ නොවියද හැකිය. විවිධ ආයතන වල SP වරු සිටිති.

කෙසේ වුවත් මෙහි වරද පොලිසියේමය. චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන තවමත් කතාවක් නැත. කොළඹ නගරයේ සිදු වූ එම සිදු වීමත් කවුරුන් හෝ යට ගසා තිබේ. එහෙත් එය වෙස් මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එලි පිට වගේ කතාවකි. පොලිසියට තම රාජකාරිය කරන්නට කවුරුන් හෝ හෝ ඉඩ නොදෙන්නේ ඒවා කලින් කල නැවත නැවතත් කරලියට එනු ඇත. කුමන මාධ්‍ය ආයතනයක රැකියාව කලද එය ඔහුගේ රැකියාවයි. රැකියාවේදී ආයතන ප්‍රධානියාට අවශ්‍ය ලෙස වැඩ කිරීමට සිදු වනු ඇත. පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද තම කටයුතු සිදු කරන්නේද නීති රාමුව ඇතුලේ සිටය. නීති රාමුවට පිටින් වැඩ කරන්නෝ ද ඕනා තරම් සිටිති.

එබැවින් මාධ්‍යවේදීන් මෙන්ම සියලු පුරවැසියන් ශ්‍රී ලාංකිකයන්ය. දේශපාලකයාටද, පොලිස් නිලදාරියාටද, අනෙකුත් අපරාධකරුවන්ටද වරදක් සිදු වූ විට සමාජය සජීවීව තබන්නේ මාධ්‍යවේදීන්ය. මාධ්‍යවේදීන් යනු ද, පාතාලයට හෝ රාජ්‍ය බලය යොදා නීති විරෝදී වැඩ කරන්නන්ටද බියගුළු ගෝත්‍රිකයන් කොටසක් නොවන බව ඔවුන් සියලුම දෙනාම දැනගත යුතුය. හඩක් නැති ඕනෑම අපරාධකරුවෙකුට වුවද , ඔහුට සිදුවන අසාධාරණයකදී ඔහුගේ හඩ සමාජයට ගෙන යන්නේ මාධ්‍යවේදියාය. එයට හොදම උදාහරණය නම් මකදුරේ මදුෂ් මරා දැමීමේ සිද්දීයයි. එසේම හිර ගෙවල් වල සිද්දීන්ද එසේමය. ඔවුන්ට සිදු වූ සෑම අසාදාරනයකදීම එය සමාජයට කියන්නේ මාධ්‍යවේදීන්ය. ඔවුන් ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීමකි. එසේම මාධ්‍යවේදීන් අවශ්‍ය නොවන්නේ නම් එවැනි විෂයක් නැති කල යුතුය.

Exit mobile version