පාර්ලිමේන්තුවේ දී පසුගියදා විවාදයට ගෙන සම්මත වූ පනත් 05ක් බලාත්මක වී ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (17) දින සිය සහතිකය අදාළ පනත් කෙටුම්පත් 05 සඳහා සටහන් කිරීමත් සමග එම පනත් කෙටුම්පත් බලාත්මක වී ඇත.
පසුගිය 09 සහ 10 යන දෙදින පාර්ලිමේන්තුවේ දී අපරාධ නඩු විධාන සංග්රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බොම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්රහය (සංශෝධන), පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන), යන පනත් විවාද කර සම්මත විය.
ඒ අනුව මෙම පනත් 2022 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත, 2022 අංක 3 දරන පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත, 2022 අංක 4 දරන අධිකරණ සංවිධාන ( සංශෝධන) පනත, 2022 අංක 5 දරන සිවිල් නඩු විධාන සංග්රහය (සංශෝධන) සහ 2022 අංක 6 දරන පළාත් සභා ( මුද්දර ගාස්තු මාරු කිරීමේ ) (සංශෝධන) පනත වශයෙන් ඊයේ (17) දින සිට බලාත්මක වේ.