පරිහානියට පත් රටේ ආර්ථිකය හමුවේ අගතියට පත් රටේ අනාගත මල් කැකුළු.

රට තුළ නිර්මාණය වී ඇති, පාලකයන් විසින් නිර්මාණය කරන ලද ආර්ථික ගැටලු හමුවේ අහිංසක දුප්පත් ජනතාවට හරියට කුසට අහරක් හෝ ලබා ගැනීමට අද වන විට අසීරු වී ඇත. එවැනි තත්ත්වයක් තුළ පාසල් ළමුන්ගේ ද පැමිණිම පැහැදිලි ලෙස පහත වැටී ඇති බව පිළිබඳ සදහන් වාර්තාවක් ‘මව්බිම’ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙසේය.

“පාසල්වලට සිසුන්ගේ පැමිණීම සියයට 30-40 අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි විදුහල්පතිවරු පවසති.

ආහාර අහේනිය හා ඉන්ධන ප්‍රශ්නය මූලික වශයෙන් පාසල් දරුවන්ගේ පැමිණීම අඩුවීමට හේතු වී ඇතැයි අනාවරණය වන බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් මොහාන් වීරසිංහ ‘මව්බිම’ට පැවසීය.

ආහාර මිල අසීමිතව ඉහළ යාම හේතුවෙන් ආහාර සපයා ගැනීමට නොහැකිව දරුවන් පාසලට යවාගත නොහැකිව සිටින පවුල් විශාල ප්‍රමාණයක් ග්‍රාමීයව මෙන් ම නාගරිකව ද සිටින බව හෙතෙම සඳහන් කළේ ය.

විශේෂයෙන් ම, ප්‍රවාහන ප්‍රශ්නය නිසා ජනප්‍රිය පාසල්වලින් දරුවන් ඉවත් කරගෙන ළඟම පාසල්වලට ඇතුළත් කිරීමේ ප්‍රවණතාවක් ද පැන නැඟී ඇතැයි හෙතෙම කීය.

සෑම දිනක ම පාසල්වල උදේ රැස්වීම්වලදී සිසුන් අතුරින් සැලකිය යුතු පිරිසක් ක්ලාන්ත වන බව ත් තොරතුරු සොයා බැලීමේදී ඔවුන් නිරාහාරව පැමිණ ඇතැයි හෙළිවන බව ත් වීරසිංහ මහතා කීය.

සියයට හැටක පමණ දරු පිරිසක් පාසලට දිවා ආහාරය රැගෙන නොඑන බව ද වාර්තා වී ඇත.

පාසල් දරුවන්ට පමණක් නොව මේ වන විට ප්‍රවාහන ප්‍රශ්නය ගුරුවරුන්ට ද බලපා ඇතැයි කී ලේකම්වරයා ආර්ථික ප්‍රශ්නවලින් ද පීඩාවට පත්ව සිටින ගුරුවරුන්ගේ මානසික පීඩාවන් සිසු දරුවන් පිටින් යන අවස්ථා ඇතැයි ද පැවසීය.

මේ තත්ත්වය වඩාත් පැහැදිලි කරගත හැක්කේ දිවා ආහාර වේල ලබාදෙන පාසල්වල දරුවන්ගේ පැමිණීම සියයට 90 ඉක්මවා පවතින බැවින් යැයි ද හෙතෙම සඳහන් කළේ ය.”

Exit mobile version