ප්‍රංශ තානාපති කාර්යාලයට දුරකථන ඇමතුම් 50ක් ලබාදෙමින් එහි කටයුතුවලට බාධා කරන ලදැයි අත්අඩංගුවට ගත් යුරෝපයේ බන්ධනාගාර දෙකක සිරභාරයේ සිට මෙරටට පිටුවහල් කරන ලද සැකකරුවකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (21 වැනිදා) නියෝග කර තිබේ.
වාර්තා වන ආකාරයට කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් කොටහේන, කදිරේෂන් වීදිය පදිංචි තවරාජ් සිංගම් ක්රිෂ්ණ කුමාර් නමැති සැකකරුවකු මෙම මස 24 වන දින තෙක් එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබේ.
ප්‍රංශ තානාපති කාර්යාලයේ එලිසබෙන් ටෙසන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රංශ තානාපති කාර්යාලයට දුරකථන ඇමතුම් ලබාගෙන සාපරාධී බලහත්කාරය පෑම හා ඒ අසල රැඳී සිටිමින් කරදර කරන ලද අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය වෙත දන්වා තිබේ.
අදාළ සැකකරු ප්‍රංශ තානාපති කාර්යාලයට දුරකථන ඇමතුම් ලබා ගනිමින් සහ එම තානාපති කාර්යාලය අසලට ගොස් තමන්ට ප්‍රංශයට යෑමට වීසා ලබා දෙන ලෙස බල කරමින් එහි කටයුතුවලට බාධා කර ඇතැයිද කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල් (70900) උපාලි බණ්ඩාර අධිකරණය වෙත දන්වා තිබේ.
මෙම සැකකරුට ප්‍රංශ පොලිස් නිලධාරියා විසින් අවවාද කළ නමුත් දිගින් දිගටම සිදු කරන කරදර හේතුවෙන් සැකකරුට එරෙහිව පැමිණිල්ලක් කිරීමට පැමිණිලිකරු කටයුතු කර තිබුණු අතර සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳව මානසික වෛද්‍යවරයකු ලවා වාර්තාවක් ලබා ගන්නා ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කළ බවට තවදුරටත් වාර්තා වේ.