ප්‍රමිතියෙන් තොර අක්ෂි කාච බාරගන්නැයි බලපෑම්.

නියමිත පිරිවිතරයන්ගෙන් නොමැති අක්ෂි කාච දස දහසක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට භාරගන්නා ලෙසට ප්‍රධානීන් දෙදෙනකු වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන්ට බලපෑම් කර ඇති බව අනාවරණය වෙයි.

දිවයිනපුරා රෝහල්වල අක්ෂි කාච හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයම මේ වනවිට පිළිගෙන තිබෙන අතර ඒ සඳහා අක්ෂි කාච දස දහසක තොගයක් වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබී ඇති අතර ඒවා නියමිත පිරිවිතරයන්ගෙන් නොවන නිසා ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

අක්ෂි කාච තොගය ගෙන්වා ඇති සමාගමද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගමකි.

මේ පිළිබඳ වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් සෞඛ්‍ය ප්‍රධානීන්ට දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම තොගය ලබාගන්නා ලෙසයි.

මේ පිළිබඳව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසූරියගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ දිවයිනපුරා කිසිදු රෝහලක අක්ෂි කාච නොමැති බවයි.

එමනිසා අක්ෂි කාච තොගයක් ලැබී ඇතත් ඒවා නියමිත පිරිවිතරයන්ට නොමැති බව ප්‍රකාශ කරමින් නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා තිබේ.

Exit mobile version