ප්‍රවීණ මාධ්‍යවේදී සහ ජනප්‍රිය නිවේදක ජානක සුනෙත් බණ්ඩාර සොයුරාගේ ආදරණීය මෑණියන්ව කහවත්ත, වැල්ලඳුර, වෙලේවත්ත සිය නිවස තුළදී ඊයේ (13 වැනිදා) පස්වරුවේ ඉතා අමානුෂික ලෙස ගෙල කපා ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.
ජානක සුනෙත් සොයුරාගේ බාල සොයුරිය රැකියාවට ගොස් සවස 3.50 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ සිය මව කපා කොටා ඝාතනය කර තිබෙනු දැක ඇති අතර, පසුව ඇය අසල්වැසියන් දැනුවත් කර කහවත්ත පොලීසියට දැනුම් දී ඇත.ඒ අනුව පොලීසිය පැමිණ විමර්ශන ඇරඹීය.මීට අමතරව අපරාධ පරීක්ෂණාගාර නිළධාරීන් (සොකෝ) නිළධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වීය.
ඝාතනයට ලක්වී ඇත්තේ විනීතා ජයසුන්දර නමැති 72 හැවිරිදි තිදරු මාතාවකි.
ඇය හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාගේ වැඩිමල් සොයුරියකද (පොඩි අක්කා) වූවාය.
එසේම, ඇය රත්නපුර දිස්ත්‍රික් සමූපකාර ව්‍යාපාරයේ හිටපු සහකාර ලේකම්වරියක ද මෙන්ම ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවක ද වූවාය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කහවත්ත පොලීසියේ උසස් නිළධාරියකුගෙන් විමසූ විට කියා සිටියේ අද (14 වැනිදා) කහවත්ත මූලික රෝහලේ දී විනීතා මහත්මියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවය.
ඝාතනයට සම්බන්ධ සැකකරු හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි ද හෙතෙම කීය.
එසේම, අද සවස් වනවිට ඒ සම්බන්ධයෙන් සුබදායක තොරතුරක් පැවසිය හැකි බව ද හෙතෙම කීය.
මෙය කහවත්ත වයෝවෘද්ධ කාන්තාවන් ඝාතන රැල්ලේ යළි ආරම්භයක් ද යන්න ප්‍රදේශවාසීන්ගේ සිත් තුළ යළිත් සැකයක් හටගෙන තිබේ.
එබැවින් මීට අදාළ ඝාතකයින් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ප්‍රදේශවාසීහූ වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලා සිටිති.
එසේම, රටේ සිදුවන අපරාධ එන්න එන්නම වැඩිවෙමින් තිබීම නිසා ඒ සම්බන්ධයෙන් ද දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඔවුහු ඉල්ලා සිටිති.