දේශපාලන පලිගැනීමට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරුන් දැඩි තීරණයක්. අල්ලස් නොගැනීමටත් තීරණය කරමුද?

බොල්තුඹේ සමන් දේවලයේ නිළවරණයේදී දේශපාලන බලයට සහ මුදලට යටත් නොවී කටයුතු කල රත්නපුරේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවත්, මහනුවර උඩපලාතේ ප්‍රාදේශීය ලේකම්වරියටත් සිදුව තිබෙන නීතිවිරෝදී ක්‍රියාවලියට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණයක් අරගෙන තිබේ. එම තීරණය පහතින් දැක්වෙන අතර මින් ඉදිරියට තම ඡන්දය ලබා දීම වෙනුවෙන් අල්ලස් නොගෙන කටයුතු කිරීමට ද තීරණයක් ගත්තේ නම් වඩාත් උචිත වනු ඇත. අදාල නිවේදනය පහතින්.

උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න මහත්මිය ස්ථාන මාරු කිරීම සම්බන්ධව SLADA ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ සාමාජිකයන් දැනුවත් කිරීම මෙහි අරමුණ වේ.

2024.01.28 දින විධායක කමිටු රැස්වීමක් පවත්වන ලද අතර, මීට පෙරද දේශපාලන බලපෑම් මත ප්‍රාදේශීය ලේකම්වරුන් ස්ථාන මාරු කිරීමට අවශ්‍ය වූ විට රාජ්‍ය සේවා කොමිසමේ කාර්‍ය පටිපාටික රීති 263(iii) අනුව කුමන හෝ හේතුවක් මත විමර්ශනයක් ආරම්භ කර නිලධාරීන් ස්ථාන මාරු කරන ලද අවස්ථා නිරීක්ෂණය වන බැවින්, ඉදිරියේදී එම තත්වය වැලැක්වීමට මැදිහත් වන ලෙස හා උඩපළාත ප්‍රාදේශීය ලේකම් වෙත ආවරණ අනුමැතියට යටත්ව ලබා දුන් ස්ථාන මාරුව අනුමත නොකරන ලෙස ඉල්ලා PSC වෙත ලිපියක් යැවීමට තීරණය විය.

ඒ අනුව 2024.01.30 දින PSC වෙත ලිපියක් යොමු කරන ලදී.

2024.02.01 දින පවත්වන ලද PSC රැස්වීමේදී උඩපළාත ප්‍රාදේශීය ලේකම් හට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලබා දුන් ස්ථාන මාරුව අනුමත නොකිරීමට PSC තීරණය කර ඇති බව සංගමයට දැන ගැනීමට ලැබුනි.

නමුත් PSC ලබා දුන් තීරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක නොකරන බවට දැන ගැනීමට ලැබුන බැවින්, එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස හා ඊට මදිහත් වන ලෙස ඉල්ලා 2024.02.09 දින නැවත ලිපියක් PubAd හා PSC වෙත යොමු කරන ලදී.
(PSC වෙත යොමු කළ එම ලිපි මෙම සමූහ තුල share නොකරන ලදී.)

දෙවන ලිපිය යවා මේවන විට සතියකට ආසන්න වී ඇතත් තවමත් ඇය උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස පත් කිරීමට PubAd කටයුතු කර නැත.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගේපොළ හා ඕපනායක ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය සේවා කොමිසමේ උපදෙස් අනුව දැනට පුරප්පාඩුව පවතින සේවාස්ථානයකට පත් නොකිරීමට විරෝධය දක්වා හා කඩිනමින් ඉල්ලා ඇති ස්ථානයකට පත් කරන ලෙස ඉල්ලා ලිපියක් 2024.02.08 දින යොමු කර ඇත. නමුත් එම දෙදෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ පුරප්පාඩු ස්ථානයකට පත් කිරීමට Pubad මෙතෙක් කටයුතු කර නැත. එම දෙදෙනාට කළුතර හා කෑගල්ල දිස්ත්‍රික්කවල වෙනත් සේවාස්ථන දෙකකට පත් කිරීමට නිලධාරීන්ගෙන් කැමැත්ත විමසා ඇතත්, ඔවුන් එයට එකඟ වී නැත.

ඉහත නිලධාරීන් තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට අපේක්ෂාවෙන් පසුවන අතර, 2024.02.15 දින පැවති SLADA විධායක සභාවේදී ඒ සම්බන්ධව සාකච්ඡා කරන ලදී. මූලික අයිතිවාසිකම් නඩුවල තීන්දු ඉහත නිලධාරීන්ගේ වාසියට ලබා ගැනීමට හැකිවුවහොත් ඉදිරියේදී කිසිදු ප්‍රාදේශීය ලේකම්වරයෙකු, බලපෑම් මත මාරු කළ නොහැකි වන බැවින්, පෙත්සම් ඉදිරිපත් කිරීමට ඉහත නිලධාරීන් තිදෙනාට අවශ්‍ය සහාය ලබා දිය යුතු බව විධායක කමිටුව තීරණය කරන ලදී. ඒ සදහා සාමාජිකත්වය දැනුවත් කර මූල්‍ය සහායක් ලබා දිය යුතු බව තීරණය කරන ලදී.

ලේකම්
SLADA

Exit mobile version