පාකිස්තානු ක්‍රිකට්

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ පකිස්තාන ක්‍රිකට් නායක බාබර් අසාම් අසාර්ථක ලෝක කුසලාන තරගාවලියකින් අනතුරුව නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමගින් පකිස්තාන පන්දුවාර 20 ක්‍රිකට් නායකත්වය ශහීන් ශා අෆ්‍රීඩිටත්, ටෙස්ට් නායකත්වය ශාන් මසූද්ටත් පැවරීමටයි.

ආසන්න කාල සීමාවකදී එක්දින තරග නොපැවැත්වෙන බැවින් තවමත් එක්දින තරග ආකෘතිය සඳහා නායකයෙක් පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පත් කොට නොමැති බවත් පකිස්තාන හිටපු ක්‍රීඩකයින්ගෙන් සහ ප්‍රේක්ෂකයින්ගෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී නායකයෙක් වශයෙන් බාබර් අසාම් දැක් වූ දක්ෂතා, පුහුණුකාරීත්වය සහ කණ්ඩායම් කළමනාකාරීත්වය ගැන විවේචන එල්ල වීම මෙම තීරණය ගැනීමට හේතුවක් වන්නට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කිරීමටත්, පුහුණුකාර මණ්ඩලයේ වෙනස්කම් කිරීමටත්, කණ්ඩායම් අධ්‍යක්ෂ තනතුරේ වෙනසක් කිරීමටත් එරට ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබේ.

මේ අනුව ප්‍රධාන තේරීම් කමිටු සාමාජික වශයෙන් හිටපු සුපිරි ක්‍රීඩක ශහිඩ් අෆ්‍රීඩි නම් කොට ඇති අතර මිකී ආතර් දැරූ එරට කණ්ඩායම් අධ්‍යක්ෂ ධුරය හිටපු පකිස්තාන ක්‍රීඩකයෙකු වන මොහොමඩ් හෆීස්හට පිරි නමා තිබෙන අතර මේ වන විටත් පකිස්තාන වේග පන්දු යැවීමේ පුහුණුකරු මෝනි මෝකල් සිය තනතුරෙන් ඉවත් වී තිබෙන අතර ප්‍රධාන පුහුණුකරු ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් ඉවත් කොට ඒ වෙනුවෙන් හිටපු පකිස්තාන ක්‍රීඩක යූනිස් ඛාන් කැඳවීමේ ඉඩක් ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් තවමත් මිකී ආතර්ව හෝ ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න්ව ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කොට නොමැති බවටද තවදුරටත් වාර්තා වේ.

Exit mobile version