පාපැදියෙන් ගෙදර එමින් සිටි සිසුවා අනතුරින් මියයයි.

ඊයේ (16) සවස 5ට පමණ ඉපලෝගම පොලිස් වසමේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී තම නිවසට පාපැදියෙන් පැමිණෙමින් සිටි පාසැල් සිසුවෙකු මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තාවේ.

මෙලෙස අනතුරට  මුහුණ දී මියගොස් ඇත්තේ මහඉලුප්පල්ලම, කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පුෂ්පික කසුන්ත සමරතුංග නම් වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවෙකි.

මියගිය සිසුවා  උපකාරක පන්තියක් සඳහා ගොස් ඊයේ (16) සවස 5ට පමණ නැවත නිවසට පාපැදියෙන් පැමිණෙමින් සිටියදී  නිවසට මීටර 500ක වැනි දුරක් තිබියදී  මෙම අනතුරට මුහුණ පා තිබේ.

අනතුරින් පසු සිසුවා  රෝහල වෙත ඇතුළත් කරන විටත් සිසුවා ජීවිතක්ෂයට පත්ව සිට ඇති බව සදහන් වේ.

ඉපලෝගම පොලීසිය විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට සිදුව ඇති සුළු තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබා දීමට කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Exit mobile version