පාර්ලිමේන්තු සංස්කෘතිය වෙනස් කළ යුතු කාලය එළඹ ඇතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අද (17) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
අද මුළු පාර්ලිමේන්තුවට ම තර්ජනයක් එල්ල වී ඇති බවද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,
“අද පාර්ලිමේන්තුවටම තර්ජනයක් වෙලා තියෙනවා. එක මන්ත්රීවරයෙක් මරුමුවට පත්වෙලා තියෙනවා. අපේ කුමාර වෙල්ගම මන්ත්රීවරයා එදා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති වෙනවා ට විරුද්ධව අපි එක්ක එකට වැඩකරලා, එතුමාට අද ගහලා තියෙනවා. ඒක නිකන් සිදුවුණ එකක් නෙමෙයි කියලා මට දැන් ආරංචි වෙලා තියෙනවා. ගෙවල් ගණනාවකට ගිනි තියලා. මෙතෙන මොකද්ද වුණේ හොයන්න. කාගේ හරි ගෙයක් කමක් නෑ. අනික මුළු පාර්ලිමේන්තුවේම මන්ත්රිවරුන්ට ඒ පැත්තේ හිටියත් මේ පැත්තේ හිටියත් මේ සෙල්ලම දැන් යනවා. තමන්ට කැමති නැත්නම් කවුරු හරි ඇවිල්ලා ගෙදර ගිනි තියන්න පුළුවන්. ඒකට යම් සහන දෙන වැඩපිළිවෙලක් අපි තියා ගන්න ඕනේ. ඊට වඩා අපි අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. මම මෙතෙනට ආවා කියලා සමහර අය හිතනවා ඇති මම පාවලා දුන්නා කියලා.
ඒක නෙමෙයි මගේ කාරණය මම කිව්වා. මේ රටේ ආර්ථිකය අපි ගොඩගන්න ඕනේ. අපි ඒක කරන ගමන් තව එකක් තියෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවට ඇයි ජනතාව දොස් කියන්නේ, අපි මේ සංස්කෘතිය වෙනස් කරමු. අවාසනාවකට ඒ සංස්කෘතිය අදත් තිබුණා උදේ. ඒකට මගේ සහයෝගය නෑ. පළමු පියවර විදියට දේශපාලන මණ්ඩලය, ජාතික සභාවක් ඇති කරන්න කියලා තමා අපි යෝජනා කරන්නේ. මේක තවදුරටත් ගෙනියන්න බැහැ. එකඟ වෙන්න පුළුවන් ඒවට එකඟවෙන්න. බැරි ඒවට අපි සාකච්ඡා කරලා, පාර්ලිමේන්තු ක්රියාදාමය අනුව බෙදෙනවානම් ඡන්දය දෙමු නැත්නම් ඡන්දය නොඳී විසඳන්න ඕනේ. එකක් මතක තියා ගන්න මේ පාර්ලිමේන්තු සංස්කෘතිය නැතිකරන්න ඕනේ. මේ සංස්කෘතිය එක්ක අපිට ඉදිරියට යන්න බෑ. මේ පැත්තෙන් කෑ ගහනවා. ඒ පැත්තෙන් කෑ ගහනවා රට කියනවා අපිව උවමනා නෑ කියලා. අපි ඉස්සෙල්ලා මේක හදාගමු. මම දෙපැත්තෙන්ම ඉල්ලන්නේ මේක වෙනස් කරගමු. අපිට ප්රශ්න තියෙනවා නම් කතා කරමු. මමත් ආවේ හැම කෙනාගෙන්ම බැනුම් අහලා හරි මේක උස්සලා ගන්න. තනියම කරන්න බෑ. සංස්කෘතිය වෙනස් කරන්න. අදහස් වෙනස් කරන්න එපා. ප්රතිපත්ති වෙනස් කරන්න එපා. කරුණාකරලා කතා කරන්න ඕනේ කෙනා නැඟිටලා ඇවිල්ලා කතා කරන්න. අනෙක් අය වාඩිවෙන්න. මෙහෙම ගෙනියන්න එපා. මෙහෙම සතියක් ගෙනිච්චොත් අපිට එන්න පාර්ලිමේන්තුවක් නැති වෙයි.”