මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (14) ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙහි විශේෂත්වය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වීමයි.
එමෙන්ම ප්‍රාග්ධන වෙළඳපොළ, අපනයන වෙළඳපොළ, ශ්‍රම වෙළඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙවර අයවැය සම්පාදනය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.
එසේම වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකය ඔස්සේ අයවැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කරන බවත්, සමාජ සුබසාධන ප්රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාවට එය ලබාදීමටත්,පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහිද මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.
මේ අතර මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇති පරිදි එළඹෙන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 7,885 ක් වේ.
එමෙන්ම මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ පුනරාවර්තන වියදම් සහනාධාර හා වැටුප් සඳහා රුපියල් බිලියන 2,442 ක් ද, ඉදිකිරීම් සඳහා සිදුකරන වියදම් සහ ඉදිකිරීම් අවසන් කරන ලද ව්‍යාපෘති සඳහා ගෙවීමට ඇති වියදම් රුපියල් බිලියන 1,221ක් ලෙසද, ණය වාරික සහ පොලී සඳහා රුපියල් බිලියන 4,218ක් ලෙසද ගණන් බලා ඇති බවයි.