පාස්කු ප්‍රහාරයේ වගකීම කාගෙද?

සමාජ මාධ්‍ය තුළ පැවති ප්‍රසිද්ධ සාකච්ඡාවකට අම්හර් හකම් දීන් මවුලවීවරයා සම්බන්ධවී තිබූ අතර එහිදී එතුමා විසින්  ප්‍රධාන වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරුණු රාශියක් හෙළිකර තිබුණි.

එහි දි විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඥානසාර හිමියන් විසින් සෘජුවම මුස්ලිම් ජනතාවට ඇගිල්ල දිගුකරමින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි.

මවුලවීවරයා එහිදී සංවේදී ලෙස සඳහන් කළේ උන්වහන්සේ විසින් එලෙස කිසිදු සොයාබැලිල්ලකින් තොරව කරන ලද ප්‍රකාශය කිසිසේත් සධාරණ නොවන බවත් සහරාන් ඇතුලු කණ්ඩායම ඉස්ලාම් ආගම ඇදහීම වූ පමණින් එම ත්‍රස්තයින්ගේ ක්‍රියාව හුදෙක් මුස්ලිම් ජනතාවට සම්බන්ධ නොවන බවයි.

එසේම මෙම බෝම්බ ප්‍රහාරය සිදුවීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳව කරුණු රාශියක් වගකිවයුතු අංශවලට දැනුම් දුන් බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට උද්ඝෝෂණ පෙළපාලි ආදිය පැවැත්වූ බවත් එපමණක් නොව සහරාන් ඇතුලු කණ්ඩායම විසින් පවත්වන ලද දේශනවල සිංහල පරිවර්ධන පවා අදාළ අංශවෙත භාරදුන් බවත් මවුලවීවරයා විශේෂයෙන් පෙන්වා දී ඇත.

2017 වසරේ ජනවාරි මස සිට මෙම පාස්කු ප්‍රහාරය සිදු වූ දිනය තෙක් වසර දෙකක කාලයක්  සහරාන් අතුරුදහන් වී සිටි බවත් මේ සියල්ල සම්බන්ධයෙන් අවස්ථා 25කදී පමණ දැනුවත් කිරීම් සිදුකළ බවත් වරකදී කාත්තන්කුඩිය පොලිසිය වෙතට ද දැනුම් දුන් බවයි මවුලවීවරයා සඳහන් කළේ.

මෙපමණ දැනුම්දීම් සිදු කළද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම තුළින් පෙනී යන්නේ යම් කිසි පාර්ශවයක් විසින් සහරාන් ආරක්ෂා කිරීමට උත්සහ දැරූවක් බවද  මවුලවීවරයා පවසා ඇත.

මාධ්‍යවේදියා විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මවුලවීවරවයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සෙවීමට මෙන් ම මුස්ලිම් ජනතාවගේ නිර්වද්‍යභාවය රටට හෙළි කිරීමටත් සිදු වී ඇත්තේ කුමක් ද යන්න පැහැදිලි කිරීමටත් ඔවුන් ඕනෑම අවස්ථාවක සූදානම් නමුත් ඒ සඳහා කිසිවිටෙකත් ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන බවයි.

කාදිනල් තුමාට මෙන් ම පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන් සොයා සාධාරණය ඉටු කිරීමට ඔවුන්ටද අවශ්‍යතාවය 500%ක් ඇති නමුත් ඔවුන් පාස්කු ප්‍රහාරයට පෙරදීම ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් සිදුකළ නමුත් ඒවාට හෝ ඇහුම්කන් නොදුන් මෙම පිරිස ඔවුන්ට තව දුරටත් ඒ සම්බන්ධයෙන් හඬක් නැගීමට අවස්ථාවක් දෙයි ද යන සැකය ඔවුන් තුළ ඇති බව ද මවුලවීවරයා විසින් සඳහන් කරයි.

අවසන් වශයෙන් මවුලවීවරයා පෙන්වා දුන්නේ රටේ ඇතිවන විවිධ ගැටලුකාරී තත්ත්යන්ගෙන් ගැලවීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔවුන් ජාතිවාදය පවුරක් ලෙස උපයෝගී කරගන්නා බවයි.

Exit mobile version