පිංකැටවල විස්තර ඉල්ලුවාම, බෞද්ධ කටයුතු කොමසාරිස්ට දිව පැටලිලා. ගිහියන්ටත් ඔබවහන්සේ කියා අමතලා. ඔවුනුත් සල්ලි උස්සලාද?

තොරතුරු දැනගැනිමේ පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයෙන් විමසන කරුණුවලට නිසි පිළිතුරු ලබා නොදි ලිස්සා යන පිළිතුරු සපයන බව චෝදනාවක් එල්ල වෙයි.

එසේම ගිහියන්ට ලිපි යවන විටත් කොමසාරිස් කාර්යාලය ගිහියන් අමතන්නේත් භික්ෂුන් වහන්සේ නමකට මෙන් “ඔබ වහන්සේ” කියා බව ද දැනගන්නට ඇත.


විශාල ලෙස මුදල් වංචා සිදුවන බවට චෝදනා එල්ලවීමෙන් පසු පිංකැට මුද්‍රා තැබු නවගමුව පත්තිනි දේවාලයේ ආදායම ගැන තොරතුරු දැනගැනිමේ පනත යටතේ විමසුවිට කොමසාරිස් කාර්යාලයෙන් නවගමුව සුරැකීමේ සංවිධානයට එවා ඇත්තේ ලිස්සා යන පිළිතුරකි.
නවගමුව සුරැකීමේ සංවිධානය විසින් 2023.10.25 දිනැති ලිපිය මගින් විමසා ඇත්තේ ඔක්තෝබර් මාසයේ කැට මුද්‍රා තැබීමෙන් පසු කැට ගණන කිරිමේදි පත්තිනි මහ දේවාලයේ හා නා කැලේ පත්තිනි දේවාලයේ මාසික ආදායම කොපමණද යන්නය.ඒ තොරතුරු දැනගැනිමේ පනත යටතේය.


ඊට බෞද්ධ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරි නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් පිළිතුරු එවන්නේ 2023.12.06 දින ලිපියකිනි.සාමාන්‍යයෙන් තොරතුරු දැනගැනිමේ පනත යටතේ තොරතුරු විමසුවිට දින 14 ක් ඇතුළත පිළිතුරු එවිය යුතුබව පනතේ සඳහන්වේ.
කෙසේ වෙතත් එම පිළිතුර මගින් තොරතුරු නිලධාරියා දන්වා ඇත්තේ එක් දේවාලයක මාසික ආදායම පමණි.මාසයකට ලක්ෂ 30 කට වැඩි ආදායමක් ලබන පත්තිනි මහ දේවාලයේ ආදායම පෙන්විම තොරතුරු නිලධාරියා විසින් මඟ හැර තිබේ.ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ ආදායම මාසිකව වෙනස්වන නිසා නිශ්චිතව දැක්විය නොහැකි බවය.


නමුත් එක් දේවාලයක මාසික ආදායම නිශ්චිතව දක්වා විශාල ආදායමක් ලබන මහ දේවාලයේ ආදායම පෙන්විය නොහැකිබව දැන්විම පුදුම සහගත විහිළුවක් යැයි නවගමුව සුරැකිමේ සංවිධානය කියයි.
ඊට අමතරව කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් නවගමුව සුරැකිමේ සංවිධානයේ සභාපතිවරයා අමතා පිළිතුරු එවා ඇත්තේ “ඔබ වහන්සෙ” එවු ඉල්ලිම අනුව යනුවෙනි.


නවගමුවේ මුද්‍රා තැබු පින්කැට ගණනය කිරිමේදිද මහ පරිමාණයේ වංචාවන් තවමත් සිදුවන බව නවගමුව සුරැකිමේ සංවිධානය පෙන්වා දෙයි.


මෙලෙස සිදුවන මුදල් වංචාවලට රාජ්‍ය නිලධාරින්ද හවුල් බවට සැකයක් පවතින බවද ඔහු කියා සිටිති.
එසේම නවගමුව දේවාලයේ හා විහාරස්ථානයේ සිදුවන දුෂණ වංචා ගැන නවගමුව සුරැකිමේ සංවිධානය ජනාධිපතිවරයාට බාරදුන් ලිඛිත පැමිණිල්ල ජනාධිපති අතිරේක ලේකම් පුෂ්පකුමාර මහතා විසින් බෞද්ධ කොමසාරිස් ජනරාල් වෙත එවා ඇතත් ඊට ඔහු ගත් ක්‍රියා මාර්ගයක්ද නොමැති බවද දැනගන්නට ඇත.මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්දැයි තොරතුරු දැනගැනිමේ පනත යටතේ නවගමුව සුරැකිමේ සංවිධානය බෞද්ධ කොමසාරිස් ජනරාල්ගෙන් විමසුවත් ඊටවත් මේ දක්වා පිළිතුරු ලබාදි නොමැත.
තොරතුරු දැනගැනිමේ පනත යටතේ විමසන කරුණුවලටවත් නිසි පිළිතුරු නොදීම ගැන නවගමුව සුරැකිමේ සංවිධානය තොරතුරු දැනගැනිමේ කොමිසම වෙත පැමිණිලි කිරිමට සුදානමින් සිටිති.

Exit mobile version