පුරාවිද්‍යාඥයින්ට නොපෙනී විනාශවන ගජමන්සල අම්බලම.

දියබෙත්ම / ගජමංසල අම්බලම

සිරිපා කරුණාවට තියෙන මාර්ග වල අත්හැර දාපු අම්බලම් කිහිපයක් තියෙනවා. ඉන් එකක් කුරුවිට එරත්න පාරේ තියෙන, එරත්න පාර ගල්වංගෙඩියට වැටෙන තැනට කලින් හමුවන බැලුන්ගල අම්බලම. මේක එරත්න පාරේ යද්දී ගරා වැටුණු අම්බලමක් විදිහට පහසුවෙන් දකින්න පුළුවන්. අනික තමයි රත්නපුර ශ්‍රී පලාබද්දල පාරේ කළු ගග පුවරුව සහ ගෙත්තම්පාන අතර හම්බවෙන දියබෙත්ම නැතහොත් ගජමංසල අම්බලම. මේ විස්තරේ අන්න ඒ අත්හැරලා දාපු ගරා වැටිලා මේ වෙනකොට මුළුමනින්ම වනන්තරෙන් වහගෙන තියෙන අම්බලම ගැනයි.

අනිල් විතානගේ මහත්මයාගේ විශේෂ ඉල්ලීමකට අනුව පසුගිය දිනෙක අපේ අචින්ත සිරිපා කරුණාවට ගිය වෙලේ මෙම ඡායාරුප සියල්ල ගනු ලැබු හෙයින් මෙහි දැක්වෙන්නේ දියබෙත්ම / ගජමංසල අම්බලමේ වර්තමාන තත්ත්වයයි. මේ පිලිබඳ මා දන්නා දේ මෙසේය.

  1. දියබෙත්ම

දියබෙත්ම / ගජමංසල අම්බලම පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1425ක පමණ උසකිනි. මෙහි භුවිෂමතාවය බැලූ කල මෙය පිහිටා තියෙන්නේ කුරු ගං නිම්නය දෙසට වන්නටය. එසේම මිට පහලින් කළු ගඟ පුවරුව ඇති අතර මෙම ප්‍රදේශය ජලයෙන් සශ්‍රික එනම් ජල උල්පත් බොහොමයක් ඇති ප්‍රදේශයකි. එම නිසාම මෙම ප්‍රදේශයේ දිය බෙදුම පසෙකින් එරත්න පැත්තෙන් ගලන කුරු ගඟටත් අනෙක් පසින් රත්නපුර පාර හරහා මාපලාන ඇල්ල නිර්මාණය කරමින් ගලන දියවරටත් ගලා යන බව Google සිතියම් මාර්ගයෙන් වුව පැහැදිලිය. මෙම ස්ථානයේ දිය බෙදීමකට ලක් වීමේ හේතුව අරඹයා මිට දියබෙත්ම ලෙස නම වැටිලා තියෙනවා. දිය පහර දෙපසට බෙදුනද ඒ දියවර සියල්ල නැවත එකතු වන්නේ කළු ගංගාවටය.

  1. ගජමංසල

2.1 ගජ යනුවෙන් හඳුන්වන්නේ අලින් වන හෙයින් ගජ+මං එසේත් නැත්නම් ගජ+මඟ ලෙස හඳුන්වන්නේ අලින් ගමන් ගන්නා ස්ථානයක් වේ. එනම් අලිමංකඩකි, මංසල නැතහොත් නවාතැන් පොළකි . එනම් අතීතයේ සිටම සිරිපාදේ සිටින අලින් කුරු ගඟ ප්‍රදේශයේ සිට කුඩා බෑන සමනල ප්‍රදේශයට යාමට මෙම ස්ථානය යොදා ගත් බවයි. එය එසේ සිදු වීමේ සම්භාවිතාවය නිවැරදි වන්නේ මෙතනින් එහාට කළු ගඟ කොඩිය සහ ඉන් පහලට සෘජු ප්‍රපාතයක් එනම් ලිහිණි හෙළ පිහිටි නිසාවෙනි. එම නිසා අලින්ට කුරුවිට ප්‍රදේශයේ සිට මාපලාන බෑන සමනල ප්‍රදේශයේ සැරිසැරීමට ලිහිණි හෙළ බැසීමට නොහැකි වූ හෙයින් එම ප්‍රදේශ දෙක යා කරන ස්ථානය වූ මෙම ගජමංසල නම් ප්‍රදේශය යොදා ගෙන ඇත. එය ඔබට Google සිතියමින් මනාවට පැහැදිලි වේ. මෙම හේතුව නිසා එනම් අලින්ගේ මාර්ගය නිසා මෙම ස්ථානය ගජමංසල ලෙස අතීතයේ සිට හැඳින්වන ලදී. අලින් එක පසෙකින් තවත් පසෙකට යන්නේ උන්ට යා හැකි පහසුම තැනිනි, මෙම ස්ථානය පලාබද්දල මාර්ගයේ දෙපස වනපියසට මාරු වීමට ඇති හොඳම පහසුම ස්ථානය වූ හෙයින් අලි මෙම ස්ථානය මාරු වීමට යොදාගෙන තිබුණි.

2.2 . ගජමංසල නම් ස්ථානයේ අම්බලමක් තිබුණි. එම අම්බලම සම්පුර්ණයෙන්ම ගරා වැටි ඇති අතර මේ තියෙන්නේ එම අම්බලමේ වර්තමාන ස්වරූපයයි. ගජමංසල නම් ස්ථානයට අම්බලමක් හැදුනේ කෙසේද? මෙම අම්බලමේ අනෙක් කතාව වන්නේ මෙයයි. එනම් දකුණු පළාතේ විසූ ප්‍රකට කිවිඳියක් වන ගජමන් නෝනා (දෝන ඉසබෙලා කොරනෙලියා) විසින් සිරිපා කරුණාවේ යද්දී එතුමියගේ නම තියෙන ස්ථානයක් වූ හෙයින් මෙම ස්ථානයේ අම්බලමක් හැදූ බව කියැවේ. එම නිසා ගජමංසල අම්බලම නිර්මාණය වූ බවට කතාවකුත් තියෙනවා. මන්ද මෙය එසේමෙසේ අම්බලමක් නොවෙයි මෙහි බිත්ති සැකැස්ම, බදාම, කණු වල ප්‍රමාන වගේම කළු ගලින් බැඳ තිබු හෙයින් මෙය තරමක් විශේෂ අම්බලමක් බඳුය. විශේෂයෙන්ම එම කාලයේ බ්‍රිතාන්‍ය ජාතින් සම්බන්දතා මත ගජමන් නෝනා විසින් හෝ ඇය වෙනුවෙන් වෙනත් කෙනෙකු විසින් මෙම අම්බලම තැනවූ බව පිළිගත හැකිය. නමුත් ඒ පිලිබඳ ලිඛිත සාක්ෂි දක්නට නොමැත. නමුත් මෙම අම්බලම සම්පුර්ණයෙන්ම සුද්ද කර එළිපෙහෙළි කර පොඩ්ඩක් ගවේෂණය කරොත් යම් සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි යැයි නොසිතමි.

ගජමන් නෝනගේ කතාව කෙසේ වෙතත් ගජ+මඟ සහ දියබෙත්ම යන නම් මෙම ස්ථානයට හිමිය. මෙම අම්බලම මෙලෙස ගරා වැටීමට නැත්නම් භාවිතයෙන් තොර වීමට හේතු කිහිපයක් පවතියි. එනම් මෙම අම්බලමට වන සතුන්ගෙන් සිදු වන අනතුරුය. මන්ද අලින්ගේ මංකඩක් වූ හෙයින් අලි මෙතනින් ගමන් ගැනීම නිසා මෙම අම්බලමට හානි වුවා මෙන්ම අම්බලමේ සිටින අයටද හානිවීම් සිදුවුනි. එලෙසම කොටියාද මෙම ප්‍රදේශයේ වාසය කරන හෙයින් කොටි ප්‍රහාරද සිදු වී තිබේ. තවද සර්පයන් මෙම ප්‍රදේශ වල බහුල වූ හෙයින් උන්ගේන්ද බලපෑම් තිබුණි. එලෙසම රාත්‍රියේ නිදාගෙන පසුදා නැගිටින විට නඩයේ කෙනෙකු හෝ සර්ප දෂ්ටනයකින් මිය යාම හෝ වනසතුන්ගේ බලපෑමෙන් අනතුරු වීම හේතු වන්නට ඇත. මන්ද මෙම ස්ථානය ඉහත කි ලිහිණි හෙළට පසුව ඇති පලාබද්දල මාර්ගයේ දෙපස වනාන්තරය අතර සතුන්ට හුවමාරු වීමට තිබු එකම හොඳම ස්ථානය වූ හෙයිනි. සතුන්ගේ මංකඩ හරස් කොට එහි අම්බලමක් ඉදි කොට සතුන්ගේ නිදහසට බාධා වූ හෙයින් වර්තමානයේ අලි මිනිස් ගැටුම් වගේ ඉස්සර මෙම අම්බලම සතුන්ගේ ගමනාගමනයට හරස් වන්නට ඇත. එම නිසාම සතුන්ගේ ස්වභාවික තර්ජන හේතුවෙන් මිනිසුන්ට මෙම අම්බලමේ සිටීම නුසුදුසු වන්නට ඇත. එම හේතුවෙන් මෙම අම්බලම මෙසේලා හුදෙකලා වී කිසිවෙකුත් භෛතයට නොගැනීම නිසා අත්හැර දමා ඇති අතර පසුව මෙය අතිශයෙන් ගරා වැටි අද තියෙන තත්ත්වයට පත්ව ඇත.

ඒ කෙසේ වුවද ළඟදීම මෙම අම්බලම හමුදාව විසින් එලි පෙහෙළි කොට ප්‍රතිස්ථාපනය කරන බවට ආරංචියක් පවතියි. එය එසේ වුවහොත් නැවතත් අතීතයේ මෙන් සතුන්ගේ මඟ හරස් වීම් හේතුවෙන් අනතුරු සිදු නොවෙවිද? අප නොදන්නවා නොදැක්ක වුවාට අවාරයේ තවමත් අලින්ගේ මංකඩ මෙය නම් මෙහි නැවත භාවිතයට ගැනීම සතුන්ටද පිඩාවක් නොවේද? එසේ වුවහොත් අලින් ගම වැදීමට ලක්වේද? නැතහොත් උන්ගෙන් වෙනත් අනතුරු බැතිමතුන්ට සිදු වේද? එය අප කාලයටම බාර කරමු.

අනිල් අයියා පැවසු පරිදි මෙහි ඓතිහසික වටිනාකමක් ඇති ස්ථානයකි. සිරිපා රක්ෂිතයේ බොහෝ කලක් වනජීවී නිලධාරියෙකු ලෙස සේවය කල ඔහු මේ පිලිබඳ මිට වඩා දේ දන්නවා ඇත. ඉඩ හසර ඇති විටෙක මෙම අම්බලම හා සබැඳි තවත් දේ ඇත්නම් සමුහය සමඟ බෙදාගන්නා ලෙස ඇරයුම් කරමු.

මෙම අම්බලමේ නටබුන් ඔබට රත්නපුර පලාබද්දල පාරේ කළුගඟ පුවරුව සහ ගෙත්තම්පාන අතර දැක ගත හැකිය. එහි
දියබෙත්ම / ගජමංසල අම්බලම නාම පුවරුව සමූහය විසින් ස්ථාපනය කොට ඇත. වර්ෂ 2015දී තිබු නමාපුවරුව අවසන් ඡායරුපයෙන් දක්වා ඇත. මෙම අම්බලම සිරිපා වන්දනාවේ ඇති පැරණිතම අම්බලමකි. එම නිසාම මෙහි නිතැතින්ම වටිනාකමක් වගේම අප නොදාන්නා කතාවක් ගැබ්ව ඇති බව හැඟෙ. මෙම අම්බලම නිල වශයෙන් භාවිතයෙන් අත්හැර දැමුවේ කිනම් වසරේද කියා අප නොදනිමු. ඒ පිලිබඳ මතක ඇති අඩවිය අවට අපගේ වැඩිහිටි සීයලා අච්චිලාගෙන් විස්තරද අප බලාපොරොත්තු වෙමු.

සංරක්ෂණය කරමින් නැවත ඉදි කිරීමට බලය තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි. එය ඔවුන් කළ යුතුමය.

වීඩියෝ දර්ශන පහත සබැදියෙන්,
https://youtu.be/7EV3n1bPqrc

සටහන – ශමින්ද රන්ශාන්

Exit mobile version