පෙළපාලි නැවැත්වීම අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්!.. පොලිසියට නියෝගයක්!

කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (18) දින සංවිධානය කරන විරුද්ධතාවය හා පෙළපාළිය වළක්වන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.

 

නේවාසිකාගාර ගැට‍ළු ඇතුළු සියලු අධ්‍යන සුබසාධන ගැට‍ළු වහා විසඳනු !, ආචාර්‍ය – මහාචාර්ය හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙනු !, ජීවන වියදමට සරිලන ලෙස මහපොළ සහ ශිෂ්‍යාධාර ඉහළ දමනු ! යන මූලික ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.

 

ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ , ඉහත ඉල්ලීම් මුල් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම විරෝධතාවය වැළැක්වීම කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ හතරවන වගන්තිය ප්‍රකාරව ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් වන බවයි. ඒ අනුව, එවැනි නියෝගයක් නිකුත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොව හතර වගන්තිය යටතේ අයිතිවාසිකම් කඩවීමක් සිදු වූ බවට පෙනී යා යුතු බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය තීරණය දැනුම් දෙමින් ප්‍රකාශ කර තිබේ.

 

කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මහජන පීඩාවන් වැළැක්වීම පෙරදැරි කරගෙන හදිසි අවශ්‍යතාවයක් යැයි පෙන්වා දෙමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

 

කෙසේ වුවත්  එසේ හදිසි හා අත්‍යවශ්‍ය බවක් තිබෙන බවට මූලික සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවද  මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Exit mobile version