පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් පිරිසක් නවාතැන් ගෙන සිටි හිඳගල ප්‍රදේශයේ පෞද්ගලික නේවාසිකාගාරයක ඇති වූ හදිසි ගින්නකින් එහි එක් කාමරයක් මුළුමනින් ම පිළිස්සී තවත් කාමර දෙකකට දැඩි හානි සිදුව ඇත.
ගින්න ඇතිවන අවස්ථාවේ නේවාසිකාගාරයේ කාමර හයක් තුළ සිසුවියන් 23 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
ගින්න අගෝ. 19දා රාත්‍රි 7.30ට පමණ ඇතිව තිබේ.
නේවාසිකාගාරයට යාබද රූපලාවණ්‍යාගාරයකින් ගින්න ආරම්භ වී තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
ගින්න පැතිර යාමත් සමග සිසු පිරිස කාමරවලින් පිටතට පැන දිවි බේරාගෙන ඇතත් ඔවුන්ගේ ලැප්ටොප් උපකරණ ඇතුළු සියලු භාණ්ඩ ගින්නට අසු වී විනාශ වී තිබේ.
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විද්‍යා හා ශාස්ත්‍ර පීඨවල දෙවන වසරේ සිසුවියන් පිරිසක් මෙහි නවාතැන් ගෙන සිට ඇති බවත් දුම ආඝ්‍රාණය වීමෙන් හුස්ම ගැනීමේ අසීරුතාවට පත්වූ එක් සිසුවියක් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ගින්නෙන් සම්පූර්ණයෙන් ම විනාශ වූ කාමරයේ සිටි සිසුවියන් පස් දෙනෙකුට අයත් ලැප්ටොප් පරිගණක පහක් දැවී පිළිස්සී ඇති අතර ඔවුන්ට ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණක් බව විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.
ගින්නෙන් සියලු බඩු භාණ්ඩ අහිමි වූ සිසුවියන්ට උපකුලපති අරමුදල මගින් එක් අයකුට රුපියල් 7,500 බැගින් සිසුන් 10 දෙනකුට මූල්‍යාධාරයක් ලබා දීමට උපකුලපතිවරයා පියවර ගෙන තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ සෙවීමට රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇත.
ගින්න හට ගත් නේවාසිකාගාරය මෙන් ම විශ්වවිද්‍යාලය අවට නේවාසිකාගාර බොහොමයක් නිසි ප්‍රමිතියෙන් තොර බවත් මේවා සම්බන්ධව නිසි නියාමනයක් සිදුවිය යුතු බව සිසුන්ගේ මවුපියෝ පවසති.
රාවණා සටහන.
රටේ අනාගතය බාර ගැනීමට සූදානම් කරන බුද්ධිමත් පරපුරේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර අත්තේ මෙපමණ? නේවාසිකාගාර අලුත්වැඩියා කටයුතු පිළිබඳ අවධානය යොමු නොවූ අවස්ථාවක සිදුවන මෙවැනි විපත් වලින් සිසුන්ගේ ජීවිත අනතුරේ වැටෙනවා පමනක් නොව ඔවුන්ගේ ජීවිත වලට ද තර්ජනයකි.
කලින් කලට පැමිණෙන පාලකයන් සිය බඩගෝස්තරය තර කරවා ගැනීම පිලිබද සිතනවා මිස ඔවුන්ගෙන් රටේ දරුවන්ට, ජනතාවට ඉටු විය යුතු සේවය ඉටු කිරීමට සිතුවේ නම් මෙවැනි සිදුවීම් වාර්තා නොවීමට ඉඩ තිබුණි.
කෙසේ නමුත් දැන් සිදු වූ දේ සිදුව හමාරය. ඉදිරියට හෝ මෙවන් විනාශ සිදු නොවීමට වග බලා ගත යුතුව ඇත.
ඒත් සමග මේ දරුවන්ගේ විනාශව ඇති ලැප්ටොප් පරිගණක ආදිය යළි ලබා දීමට කුමක් හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කල යුතුව ඇත.