පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළකිරීමට නියමිත අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්දය අද

අද (22) පස්වරුවේ දී 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

එසේම පසුගිය 14 වනදා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් පසු දින 07ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව අද (22) දින ඡන්ද විමසීම සිදුකරනු ලබයි.

මිට අමතරව හෙට (23) සිට දෙසැම්බර් 08 වනදා දක්වා අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතර එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදුකරනු ලබයි.

මේ අතර සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ (21) රැස්වූ අතර එහිදී ඔවුන් තීරණය කර තිබෙන්නේ අද (22) පැවැත්වෙන ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ජාතික ජන බලවේගය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජාතික සභාව ද අද (22) දින අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

තවද දෙමළජාතික සන්ධානය අද (22) පෙරවරුවේ රැස්ව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයවැයට කොන්දේසි විරහිතව සහය පළ කරන බවයි.

Exit mobile version