පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල සඳහා පිටව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 දෙනෙකු අතුරුදන්!

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට පිටව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකු මේ වන විට අතුරුදන්ව ඇති පුවතක් AFP පුවත් සේවය වාර්තා කර ඇත.

මෙරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා බලධාරියෙකු උපුටා දක්වමින් මේ පිළිබඳව වාර්තා කර ඇති අතර මෙසේ අතුරුදන් වූ පිරිස බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ උත්සහයක් දරන බවට මෙය සලකන බවයි ඔවුන් වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ.

ක්‍රීඩකයින් 09 දෙනෙකු සහ කලමනාකරුවෙක් මෙසේ අතුරුදන්ව ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය අදාළ නිලධාරියා විසින් හෙළි කර නොමැත.

මේ පිළිබඳව තොරතුරු දක්වන මෙරට බලධාරියා ප්‍රකාශ කර ඇත්තේ අතුරුදන්ව ඇති පිරිස රැකියාවන් අපේක්ෂාවෙන් එක්සත් රාජධානියේ රැඳී සිටීමට උත්සහ කරන බවට සැක කරන බවයි.

එමෙන්ම මීට ඉහතදී අතුරුදන් වූ සාමාජිකයින් තිදෙනා රැඳී සිටිනා ස්ථාන එරට පොලිසිය විසින් සොයා ගත්ත ද ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව ඇත්තේ ඔවුන් සතුව මාස 06කට වලංගු වීසා බලපත්‍ර හිමිව තිබීමත්, ඔවුන් එරට කිසිදු නීතියක් උල්ලංගනය කර නොමැති වීමත් නිසාවෙනි.

කෙසේ නමුත් මෙම අතුරුදන් වූවන් රැඳී සිටින නිෂ්චිත ස්ථාන පිළිබඳ තොරතුරු පොලිසිය විසින් ලබා දී නොමැති බව ද වාර්තා වේ.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 161 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සහභාගී විය.

Exit mobile version