පොලිස් අත්අඩංගුවට ගත් තරුණයෙකු මියයෑම සැකසහිත බව පවසමින් ගම්වාසීන් ඊයේ 2024/01/30 රාත්‍රියේ අනුරාධපුර පොලීසිය ඉදිරිපිටට රැස්ව සිය විරෝධය දක්වා තිබේ.
ඊයේ උදෑසන මෙම තරුණයා සහ තවත් තරුණයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය චෝදනාවලට අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විශේෂ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔවුන්ගේ ඥාතීන් පොලීසියට පැමිණ තරුණයින්ට අවශ්‍ය ආහාර ලබා දී යළි ගොස් ඇත.
ඊයේ පස්වරුවේ සැකකරුගේ ඥාතීන්ට කිසියම් අයෙක් දුරකථන ඇමතුමක් මඟින් දැනුම් දී ඇත්තේ තරුණයා හදිසියේ අසනීපවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇති බවයි.
ඒ අනුව රෝහල වෙත ගිය ඔවුන්ට දැකගැනීමට හැකි වූයේ මියගිය තරුණයාගේ දේහය බව ඥාතීහූ පවසති.
මිය ගිය තරුණයා පොලිස් සිරමැදිරිය තුළදී හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඊයේ පස්වරුවේ ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව පොලිසිය කියයි.
මෙම මරණය පිළිබඳව සැක සහිත බව මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන් පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර දෙවන පියවරෙහි පදිංචි ශානුක ගිහාන් මාරඹගේ නමැති වයස අවුරුදු 22ක තරුණයෙකි.
මියගිය තරුණයාගේ මව විදේශගතව සිටින අතර මිත්තනිය සහ සීයාගෙ රැකවරණය යටතේ ඔහු ජීවත්ව සිට ඇත.