“පොලිසියේ නූතන පියා බිහි වෙයි”!

මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ සංකල්පයක් අනුව පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසදීමේ වැඩසටහනේ පළමු අදියර ඊයේ අති සාර්ථක ලෙස අවසන් විය.

ඒ අනුව සෑම මසකම 22 වෙනි දිනය පොලිස් නිලදාරීන්ගේ ගැටළු වලට ඇහුම්කන් දීමේ දිනය ලෙස ද  නම් කර තිබේ.

සරත් වීරසේකර ගරු අමාත්‍යවරයාගේ මෙම සංකල්පය විශේෂ කටයුත්තක් වන අතර මෙය සාර්ථක වුවහොත් මහජන මිත්‍රශීලී පොලිසියක් නිර්මාණය කිරීමේ නූතන ප්‍රථම සහ අවසාන පියවරද මෙය වනු ඇත. මෙය සාර්ථක කරගැනීමට නම්  දීර්ඝකාලීන සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. ඒ සදහා අත්දැකීම් බහුල සමාජ සහ ප්‍රජාසංවර්ධනය පිලිබඳ උගතුන්ගෙන් මෙන්ම සමාජ විද්‍යාඥයන්ගෙන් උපදේශ සහ ඔවුන්ගේ සේවය සෘජුවම පොලිස් අමාත්‍යවරයා වෙත ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ද යෝජනා කරන්නෙමු. ඒ සදහා සමාජ සංවර්ධන වාර්තා ඔවුන්ගෙන් ලබා ගන්නා ලෙසද, පොලිස් නිලදාරීන්ගේ අකටයුතුකම් නිසා හෝ වැරදීම් නිසා  සිවිල් පුරවැසියන්ට  ඇතිව තිබෙන ගැටළුද, එසේ ගැටළු ඇති  කිරීමට පොලිස් නිලදාරීන් කටයුතු කිරීමට හේතු වූ මානසික තත්වයන් ද එම සමාජ වාර්තාවලට අඩංගු විය යුතුය. එම සමාජ වාර්තාවලින් පොලිස් දෙපාර්තමේන්තුවේ බිද වැටීම හදුනාගෙන ඒවාට කෙටි කාලීන සහ දීර්ඝකාලීන විසදුම් ක්‍රියාත්මක කිරීමෙන් දිනෙන් දින විනාශ වන පොලිසියේ ගරුත්වය නැවත ටිකෙන් ටික ලබා ගත හැකි වනු ඇත. එසේ නොමැතිව පොලිස් නිලදාරීන්ගේ වැරදි නිසාම ඔවුන් පීඩාවට පත් සිටී නම් සහ ඔවුන් කරන ලද වැරදි ඉවත් කර ඔවුන්ටම සහන දීමෙන් මහජනතාව මෙන්ම තවත් පොලිස් නිලධාරීන්ද පීඩාවට පත් වේ. එබැවින් මෙය කල යුත්තේ “දැලි පිහියෙන් කිරි කන්නා සේය”.  

පොලිසිය වෙත නැවත ගරුත්වය ඇති කරගත යුතු මාර්ගය පොලිස් දෙපර්තමේන්තුවේ උසස් හෝ පහල නිලදාරීන්ගෙන් ලබා ගත නොහැක. එවැනි දැක්මක් ඇති පොලිස් නිලධාරීන් කවුරුන්දැයි යන්න පොලිස් දෙපාර්තමේන්තුවෙන් සොයා ගැනීම කළු නික සොයන්නා සේයා. අල්ලස් නොගත් , රාජකාරිය නිසි ලෙසම ඉටු නොකළ, වංචා දූෂණ සිදු නොකළ, නිවැරදි මිනිසුන්ට නඩු නොදැමූ, විවිධ අපරාධකරුවන් සමග සබඳතා නොමැති, දේශපාලකයන් පසු පස ගොස් උසස්වීම් නොගත්, විවිධ වැරදි පුරුද්දක් ලෙස සිදු කරන පොලිස් ස්ථානාධිපතිවරයෙක්, ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් සෙවීම ලේසි නැත.  එබැවින් එම කටයුත්ත සදහා අත්දැකීම් බහුල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන ස්වාධීන සේවයකින් තොරතුරු ලබාගැනීමෙන් පමණක් මෙම කරත්ව්‍ය සාර්ථක වනු ඇත. ඒ සදහා ප්‍රජාවේ සියලු වයස් කාණ්ඩයන්, අතීත සහ වර්තමාන පවුල් පසුබිම්, උපන් ප්‍රදේශයන් වලට අනුව ඔවුන්ගේ හැසිරීම්, සමාජ ගතවීම තුලදී ඔවුන් මුහුණ දුන් විවිධ ගැටළු ආදී බොහෝ කරුණු දෙස අවධානය යොමු කිරීමට සිදු වනු ඇත. කෙසේ වුවද සමාජ සහ ප්‍රජාසංවර්ධනය පිලිබඳව උගතුන් දස දෙනෙක්වත් ශ්‍රී ලංකාව තුල නොමැති බවද කණගාටුවෙන් යුතුව සදහන් කරන්නෙමු.

මෙහිදී පොලිස් නිලධාරීන්ගේ ගැටළු වලට නිසි විසදුම් ලබා දීමට අවසන් කාලයක් ලබා දීමද, ඒවාට නිසි විසදුම් නොලැබුණේ නම් පොලිස් දිනයේදී  සෘජුවම පොලිස් අමාත්‍යතුමා හමුවී හෝ ප්‍රශ්නවල විසදුම් ලබාගැනීමට කටයුතු කරන ලෙසද අප තවත් යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්නෙමු. එසේ නිසි උපදේශ මත පොලිස් අමාත්‍යතුමා ක්‍රියාත්මක වුවහොත් පොලිස් දෙපාර්තමේන්තුවේ “නූතන පියා” යන විරුදාවලිය ඔහුට ලැබෙනු ඇත. එසේ නොමැතිව නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අභිලාෂයෙන් ප්‍රසිද්ධිය සදහා පමණක් මෙම කටයුත්ත කරන්නේ නම් ප්‍රසිද්ධිය කලකින් නැති වී ගොස් ජන අප්‍රසාදයට පත් වනු ඇත. එබැවින් අපගේ යෝජනා මෙන්ම තවත් ප්‍රගතිශීලීන්ගේ යෝජනා මත ක්‍රියාත්මක වීමෙන් මෙම කටයුත්ත සාක්ෂාත් වී මහජන සුභ සිද්ධිය ඇති වනු ඇත.

Exit mobile version