පොලිසිය අධිකරණයට අපහාස කරයි. චමුදිතට ආරක්ෂාව ලබා දී නැහැ.

ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව පසු ගිය දා එල්ල කල  ප්‍රහාරයෙන් පසුව ඔහුගේ ජීවිතාරක්ෂාව පතා පසුගිය 18 වනදා වින්ධිතයන් ආරක්ෂා කිරීමේ පනත් යටතේ ඔහුට ආරක්ෂාව ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. ජනාධිති නීතීඥ කුවේරද සොයිසා මහතා විසින් කල එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ කැස්බෑව මහේස්ත්‍රාත්තුමිය විසින් චමුදීත මහතාට සුදුසු ආරක්ෂාවක් සපයන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලදී.

එම නියෝගය ලබා දී දින 10 ක් පමණ වුවත් මේ වන තෙක්ම ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලබා දී නැතිබව වාර්තා වේ. අප මේ පිළිබඳව චමුදිත සමරවික්‍රම මහතාගෙන් විමසීමක් කල අතර , ඔහු දැනුම් දුන්නේ මේ වන තෙක්ම ඔහුට කිසිදු ආරක්ෂාවක් ලැබී නැති බවයි. එසේම පොලිසියෙන් පැමිණ වරින් වර ප්‍රකාශ ලබා ගන්න බවද, එහිදී ඔවුන් එකම ආකාරයට වරින් වර ප්‍රශ්න කරන බවටත් , “ නැවත තර්ජන ලැබුනද, මොනවාද බලපෑම් තිබෙන්නේ , අසූචි විතරනේ ගැහුවේ, වෙන මොකුත් තර්ජන නැහැ නේද” ආදී ලෙස ප්‍රශ්න කරන බවද ඒ මහතා දැනුම් දෙන ලදී. අධිකරණ නියෝගයක් පිළිනොගන්නා හෝ ක්‍රියාත්මක නොකරන පොලිස් දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමාජයට දෙන පණිවිඩය බැරෑරුම් වන අතර අධිකරණය දැවැන්ත හෑල්ලුවකට ලක් කර තිබේ. එසේම මේ සදහා ගරු අග්‍රාමාත්‍යතුමාද අවධානය යොමු කර තිබේ.

රාවණා සටහන

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 99 (1) වගන්තිය තුල මෙසේ සදහන් කරයි. “ මේ පරිච්ඡේදය යටතේ කරනු ලබන ආඥාව සහ වෙනත් යම්  ආඥාවක් හෝ දෙනු ලබන දැන්වීමක්...” ආදී ලෙස සඳහන් කරමින් නියෝග දැන්වීම් හෝ ආඥා බාර දෙන ආකාරය සඳහන් වේ. එහි 100 වන වගන්තියේ (අ) වගන්තියට අනුව අදාළ ක්‍රියාව කල යුතුය, නැතහොත් එහි (ආ) වගන්තියට අනුව 98 (2) වගන්තියට අනුව කටයුතු කල යුතුය. නමුත් 98 වන වගන්තිය තුල සදහන් වන්නේ මහජන පීඩා වන අතර “වෙනත් යම්  ආඥාවක් හෝ දෙනු ලබන දැන්වීමක්”  යන කොටස සදහන් වන්නේ ඕනෑම ආඥාවක් සඳහා හෝ දන්වීමකටයි. ඒ අනුව 2022 02 18 දින කැස්බෑව මහේස්ත්‍රාත්තුමිය විසින් වින්ධිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 2 (ආ) 6 (අ) සහ (ආ)  වගන්තීන් යටතේ මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව එම පනතේ 7 වැනි වගන්තිය මගින් නියෝග කර තිබෙන්නේ “ අයිතිවාසිකම් වලට සහ හිමිකම් වලට ගරු කිරීම් ආදිය රජයේ සහ අධිකරණ නිලධරයන්ගේ කාර්යක් බවයි” ඒ අනුව අධිකරණයේ කාර්යභාරය සිදුකර තිබෙන අතර රජයේ වගකීම ඉටුකරන පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම ඉටු කර නැති බව මෙහිදී පෙනෙන අතර එවිට එදින නියෝගය ලබා දී තිබෙන්නේ කා වෙතද? ඒ නියෝගය ලබා ගත් අය මේ සදහා සම්පූර්ණයේම වගකිව යුතුය.

ඉහත ආකාරයෙන් සිදු විය යුතු සියල්ල නොකිරීමෙන් චමුදිත සමරවික්‍රම මහතාගේ ජීවිතයට අනතුරක් කිරීමට ඉඩ හැර ඇති අතර 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ පනතේ   8 (III) වගන්තිය ඒ පිළිබඳව මනාව පැහැදිලි කරන අතර ඒ අනුව අදාළ නියෝගය ක්‍රියාත්මක නොකරන තැනැත්තන් වරදක් කරන අතර එය ඇප ලබා නොදිය හැකි වරඳක් වන අතර ඒ අනුව ඔහුට ආරක්ෂාව ලබා නොදෙන තැනැත්තන්ට විරුද්ධව මහාධිකරණය මගින් නඩු අසා අවුරුදු 7 ක සිර දඩුවම් හෝ රුපියල් පහළොස්දහසක දඩයකට යටත් කල යුතුය. එයට අමතරව  ලංකා දණ්ඩනීති සංග්‍රහයේද වගන්ති ගණනාවකින්ම ද එකතු කරමින් නඩු පැවරිය හැකි අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 99 (1) වගන්තිය පැහැර හැරීම නිසාද ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 185 වගන්තිය යටතේද දඩුවම් ලැබිය හැකිය.

පොලිස් දෙපාර්තමේන්තුවේ හෝ වින්ධිතයන් සුරැකීමේ අධිකාරියේ අදාල බලදාරීන් මේ වන විටත් මේ සියලු වැරදි කර තිබෙන බව ඔප්පු වී තිබේ. එසේම යම් කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක බන බවද දක්නට තිබේ.

අධිකරණ නියෝගත් පිළිනොගෙන විවිධ උපක්‍රම ඔස්සේ එය ඉවත් කරගැනීමට හෝ ප්‍රමාද කිරීම හෝ තුලින් වැනසෙන්නේ තමන්ගේම දේශය සහ තමන්ගේ දරුවන්ගේම අනාගතය බව නොතේරෙන පොලිස් දෙපර්තමේන්තුවේ වග කිව යුත්තන්ට හෝ  මෙය සිදු කිරීමට ඉඩ නොදෙන යම් දේශපාලන බලවතෙකු හෝ සිටී නම් ඔවුන් වෙනුවෙන් අපට ලියන්නට තිබෙන්නේ, “තමන්ට බලය නැති වූ දාට ඔවුන්ගේ දරුවන්ටද යම් අකටයුත්තක් වූ විටද, හඩක් නැති ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේද මේ මාද්‍යවේදීන්ම බවයි. එබැවින් රජය අපහසුතාවයට සහ අප්‍රසාදයට ලක් නොකර අධිකරණ නියෝගය නිසි ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි අපද අපේක්ෂා කරන්නෙමු. එසේම මේ සිදුවන්නේද පොලිස් දෙපර්තමේන්තුව වැනසීමේ තවත් එක් නරක පූර්වාදර්ශයක් වන අතර සමස්ත පොලිස් දෙපර්තමෙන්තුවම මෙසේ අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමට විවිධ උපක්‍රම භාවිතා කරනු ඇති අතර මීට පෙර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදු කරන ලද එවැනි උපක්‍රම කිහිපයක්ම අප වෙත වාර්තා වි තිබේ. පොලිස් දෙපාර්තමේන්තුව සුරකිමින් මහජන සුබ සිද්ධිය වෙනුවෙන් එම ආයතනයට යා යුතු මග පෙන්වීමද අපගේ යුතුකමක් වන අතර එසේ නොමැති වුවහොත් පුරවැසියන් දරුණු වී නීතිය අතට ගත් විට අසරණ වන්නේද පොලිස් නිලදරුවන්මය. පොලිස් දෙපාර්තමේන්තුව යනු ජන ජීවිතයේ හුස්ම පොදක කොටසක් බව හදුනා ගත යුතු කාලය එළබ තිබේ.

Exit mobile version