අධිකරණ කටයුතුවලදී පොලිසිය හෝ නීතිපතිවරුන්ගේ සියලුම ඉල්ලීම්වලට ඉඩ ලබා දීමට මහේස්ත්‍රාත්වරුන් බැඳී නොමැති බවත්, අධිකරණය නොමග යවා ලබා ගන්නා තීන්දුවලින් මහේස්ත්‍රාත්වරුන් බේරාගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් අවධාරණය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතාගේ ඉල්ලීමක් ඊයේ (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අද (16) කෙසෙල්වත්තේ දී පැවැත්වීමට නියමතිව ඇති උද්ඝෝෂණය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකරන ලෙසට සමගි ජන බලවේගය වෙත නියෝගයක් නිකුත් නරන ලෙසට පොලීසිය විසින් කළ ඉල්ලීමක් සම්බන්ධයෙනි.
මෙහිදී පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ,මෙම නියෝගයට එරෙහිව ප්රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා මෙම නඩු තීන්දුවේ සහතික පිටපතක් ලබාදෙන ලෙසත් ය.
පොලිසිය විසින් මෙම ඉල්ලීම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 සහ 106 යන වගන්ති ප්‍රකාරව සිදුකරන බව සඳහන් කර ඇති අතර මෙහි දී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වන වගන්තිය යටතේ මෙවැනි ඉල්ලීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි.
එමෙන් ම පොලිසිය විසින් අධිකරණය නොමග යවන ආකාරයෙන් මෙවැනි තොරතුරු ඉදිරිපත් කරන්නේ ඇයි දැයි ද ප්‍රශ්න කළ අතර මෙවැනි නිර්වද්‍ය තොරතුරු හේතුවෙන් අධිකරණය අපහසුතාවයට පත්වන බවත් , වැරදි වගන්ති ඉදිරිපත් කරන අවස්ථාවලදී ඊට අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව ද මෙහි දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය ප්‍රකාරව මෙම පැමිණිල්ල පවත්වාගෙන යන බව එහි දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර ඇත.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය අගෝස්තු මස 21 වනදා නිකුත් කර ඇති විධානයන්ට අනුව මහජන රැස්වීම් නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇති බවත්, මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් නැවතත් මෙම වසංගත තත්ත්වය පැතිරයාමේ අවධානමක් ඇති විය හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා ඇත.