රජයේ සහනාධාර යටතේ ගොවීන්ට ලබාදෙන පොහොර කූට ලේඛන සකස් කර මහා පරිමාණ කර්මාන්ත ශාලා හිමි සමාගම් දෙකකට ලබාදීමේ සිද්ධියට අදාළ බැංකු ගිණුම් 46ක් පරීක්ෂා කිරීමට අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (14) අවසර ලබාදුන් බව වාර්තා වේ.
රජයේ සහනාධාර යටතේ ගොවීන්ට ලබාදෙන රසායනික පොහොර අවභාවිතා කරමින් කූඨ ලේඛන සකස් කර ඒවා ගොවීන්ට නොදී කර්මාන්ත කටයුතු සඳහා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් දෙකකට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පුළුල් පරීක්ෂණයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එම නියෝගය කරන ලදී .
මෙලෙස ගොවීන්ට ලබාදුන් රසායනික පොහොර 2018 වසරේ සිට 2020 දෙසැම්බර් 31 දක්වා අවභාවිත කර ඇතැයි සඳහන් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා විසින් කර තිබූ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු දැක්වූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කළේය.
2018 වසරේදී ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පොහෝර සමාගම් 18ක් ලියාපදිංචි වී තිබූ බවත්, ගොවීන්ට පොහොර නිකුත් කරන එම සමාගම්වලින් පරිබාහිරව කෘෂිකාර්මික නොවන කර්මාන්ත කටයුතු සඳහා මහා පරිමාණ සමාගම් දෙකකට පොහොර ලබාදී අවභාවිත කර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටි බව වාර්තා වේ .