පොළොන්නරුවෙන් පවරාගත් සහල් සතොසට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින්ගේ මෝල්වල තිබී රජය භාරයට ගන්නා ලද සියලුම සහල් තොග සෘජුවම සතොසට යොමුකර ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ එහිදී වෙළඳපොළ තුළ පවත්නා සහල් හිඟයට අවශ්‍ය කරන සහල් ප්‍රමාණය පමණක් රජයට භාරගත් බවයි.

ඒ අනුව අරලිය, හිරු, නිව් රත්න, ලත් සහල්, සූරිය, නිපුන සහ ජයවික්‍රම යන සහත් මෝල් සතුව තිබූ සහත් කිලෝ ලක්ෂ 08ක් පමණ රජය භාරයට ගෙන ඇත.

අත්‍යවශ්‍ය ස්වා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ එම සහල් තොගය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුල්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සෘජු අධීක්ෂණය මත පවරාගැනීම සිදුකළ බවයි.

සහල් මෝල් හිමිකරුවන් සතුව තිබු වෙළඳපළට නිකුත් නොකළ එම සහල් තොග රජය භාරයට ගැනීමෙන් පසු වැඩි සහල් ඉල්ලුමක් පවතින සතොස අලෙවිසැල් වෙත යොමුකිරීමට කටයුතු කර ඇති බවත් සිය භාරයට ගත් සහල් කඩිනමින් පාරිභෝගිකයින් වෙත ලබාදීම රජයේ අරමුණ බවත් වාර්තා වී ඇත.

එහිදී නිව් රත්න සහල් මෝල සතුව තිබූ තොග පවරාගැනීමේ දී එහි හිමිකාරිත්වය විසින් එයට බාධා සිදු කර ඇති අතර එහිදී නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල වූ බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කළේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ සහල් මෝල් හිමිකරුවන් සමග මීට පෙරදී සාකච්ඡා පවත්වා ඇති අතර එහි දී රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියමකිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාම සඳහා හිඟයකින් තොරව සහල් වෙළඳපළට නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

නමුත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරන්නේ ඔවුන් එකඟ වූ පරිදි කටයුතු සිදු නොකිරීම නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සහල් තොග රජයට පවරාගෙන බෙදාහැරීමට කටයුතු කළ බවයි.

Exit mobile version