බැද්දේගමෙහි ආරච්චි, දූෂිත පාසල් ගුරුවරු සහ අසරණ දෙමව්පියන්

වත්මන් පාසල් පද්ධතියේ අක්‍රමිකතා හා දූෂණ.

සිව්වන වෙළුම

ශ්‍රී ලංකාවේ කොතරම් උපකාරක පන්ති පැවැත්වුණත් පාසල් පද්ධතිය ඉතාමත් වැදගත් වූවකි. මක්නිසාද යත් නිදහස් අධ්‍යාපන අයිතීන් දිනාගත් ආකාරය පිළිබදව සිතා බලන විට එය මනාව පැහැදිලි වනු ඇත.ඇත්තටම ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් පවතින්නේද යන්න ප්‍රධාන ගැටළුවකි.

මේ ඊයේ පෙරේදා අ.පො.ස.උසස් පෙළ ප්‍රතිඵල ආ විගස බොහෝ කතා අපට දැන ගන්නට ලැබුණු සිද්ධි ගණනාවකි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණි පසු සිසු දරු දැරියෝ සිය ප්‍රතිඵල කියන්නට ආවේ වසර 11ක් පමණ තමාට අධ්‍යාපනය ලබා දුන් ආදරණීය වූත් ගෞරවනීය වූත් ගුරු භවතුන් සොයා ගෙනය. දරු දැරියන් ප්‍රතිඵල කියන්නට ආවේ තනිවම නොවේ සිය දෙමව්පියන්ද සමගය.. මෙය ඇතැම් ගුරුවරුන්ට සිය  උපකාරක පන්තිය අලෙවි කර ගැනීමට කදිම අවස්ථාවක් විය.

එනම් තමාගේ විෂය එසඩ් ස්කෝර් එකෙන් ඉතාම ඉහළ යැයි ගුරුවරුන් කණ්ඩායමක් කියද්දී, තවත් ගුරුවරුන් කණ්ඩායමක් කීවේ දිස්ත්‍රික්කයේ උසස් පෙළ හොදම ප්‍රතිළුල තමාගේ බවය. තවත් ගුරුවරු කණ්ඩායමක් තමාගේ ගණිතය පන්තිය නිසා සිසු දරු දැරියන් ගණිතයට ඒ හා බී සාමාර්ථ ගෙන ඇති බවත් ඔබලාගේ බාල දරුවන් තමාගේ පන්තියට එවන ලෙසත් අණ කළේය. දෙම්ව්පියෝ අහිංසකය. කෙසේ හෝ තම දරුවාගේ ඇස් පාදා ගැනීමට ඕනෑම දෙයක් කරති. එනිසා එම දේශනා අසා සිට ඊළග දින සිට එම උපකාරක පන්ති වලට තම දරුවන් යැවීමට තීරණය කොට ගෙදර ගියෝය.  මෙම සිද්ධියට මුහුණ දුන් සමහර දෙමව්පියන් අප සමග කීවේ පාසල් ගියාට වැඩක් නැති බවත් කෙසේ හෝ උපකාරක පන්ති යැව්වොත් ළමයා විශ්ව විදයාලයට යැවීමට හැකි නිසා ණය වී හෝ පන්ති යවන බවත්ය.

එසේ නම් පාසලේ සිට අනියමින් සිසු දරු දැරියන්ට බලපෑම් කරන ගුරු වරු පිරිසක්  බිහිව ඇති බව පෙනේ. මොවුන්ගේ සේවා කාලය බැලූ විට එක්කෝ වසර පහකි. නැතිනම් වසර තුනකි. තවත් සමහරුන් අවුරුදු 15, 20 ය. තවත් සමහරුන් උපකාරක පන්ති ආයතන තිබෙන අයයි. එසේ නම් නිදහස් අධ්‍යාපනයේ  මළගම ලියන්නේ  ළගදී සරසවියෙන්  ඉවත්ව  ගුරුවරුන් වූ පිරිස් බව අපට පැහැදිලිය.එසේ නම් නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය.

බැද්දේගම නව කථාවේ මීට වසර ගණනාවකට පෙර  ද සිදු වූයේද මෙයමය. එනම් පුංචිමැණිකා සිදාදියෙන් ගමට පැමිණි පුනාන්දු මුදලාලිට ලබා දීම සදහා ගමේ ආරච්චි විසින් නොකළ හොරකමකට පුංචිමැණිකාගේ ස්වාමියා වූ බබුන් පැටලවූයේ අනීතිකව සිය රාජකාරීයේ බලය උපකාරී කර ගනිමිනි. ඇතැම් ටියුෂන් පන්ති කරන ගුරුවරුන් එදා බැද්දේගම කෘතියේ ආරච්චි කරපු දෙයම සිදු කරන්නේ නිදහස් අධ්‍යාපනය නම් වූ  මහා පවුරට මුවා වෙමනි. දැන් දැන් දෙමව්පියන් බැද්දේගමහි බබුන් ලෙස අසරණව ඇත්තේ දරුවාගේ සරසවි සිහිනය වෙනුවෙනි. නමුත් මීට දශක කීපයකට පෙර කිසිදු උපකාරක පන්තියකට නොගොස් සරසවි ගොස් සිය ජීවිතය ජයගත් අය අප ඕනෑ තරම් දැක ඇත. නමුත් වත්මන් දෙමව්පියන්ට මෙය වැටහෛන්නේ නම් 69 ලක්ෂයක මනාප ලබා දී රටට නොගැලපෙන මිනිසුන් රටේ මුල් පුටුවට පත් කර ගන්නේ නැත.

මේ වන විට රටේ  සෑම දෙයක්ම  අනීතිකව සිදු කරන වටපිටාවක සර්ව සාධාරණ සමාජයක් කිර්මාණය කිරීම ඉතා අසීරු  වුවද  එය කෙසේ හෝ සිදු කළ යුතුය. කන්නංගර විප්ලවයේ රැඩිකල් පුරවැසියන් රටට අවැසිම යුගය මෙම යුගයයි. සිය බලය අවභාවිතය කරමින් සිදු කරන සෑම දෙයක්ම අප නීත්‍යානුකූලව නියම මාර්ගය වෙත හැරවිය යුතුය. එසේ නොමැති නම් සිදු වන්නේ මහා ව්‍යවසනයකි. එනිසා සර්ව සාධාරණ වූත් සැම දෙනාටම වග කියන සමාජයක් නිර්මාණය කරවීම අසීරු වුවද උඩුගංබලා යාම තුළ දූෂණ අක්‍රම්කතා වලින් තොර සමාජයක් බිහි කර ගත හැකි වේ.

පස්වැනි වෙළුමෙන් හමුවෙමු

Exit mobile version