බුද්ධි මාරඹේ රටින් පලා ගියාද? (වීඩියෝ)

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සමාජ මාධ්‍ය නාලිකාවක් සමග පසුගිය දිනක සාකච්ඡාවක් පවත්වා ඇත.ඒ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමගිනි.

මෙලෙස පවත්වා ඇත්තේ බුද්ධි මාරඹේ මහතා රටින් පිටව ගොස් කරන ලද ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව වන අතර එහිදී බහුල වශයෙන් අවධානය යොමුව තිබුණේ ඔහු රටින් පලා ගියාය යන ප්‍රචාරය සත්‍යයක් ද යන්න පිළිබඳවය.

ඒ අනුව මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැහැදිලිවම සඳහන් කර සිටියේ ඔහු කිසිවිටෙකත් රටින් පලා නොගිය බවත් ඔහු රටින් පිටව ගොස් සිටින්නේ ග්ලාස්ගෝ නුවර දී පැවැත්වෙන කාලගුණ විපර්යාස පිළිබඳ සම්මේලනය සඳහා රාජ්‍ය නියෝජිතයෙක් වශයෙන් සම්බන්ධවීම සඳහා වන බවයි.

එමෙන් ම එහි දී යොමු වූ තවත් ගැටලුවක් වන්නේ මහාචාර්ය බුද්ධි මාරඹේ සී.අයි.සී සමාගම සමග පවත්නා සම්බන්ධය පිළිබඳව වන අතර එහි දී ඔහු අවධාරණය කර සිටියේ සි.අයි.සී.සමාගම විසින් පේරාදෙනිය විශ්විද්‍යාලයේ උපකුලපතිවරයාගෙන් බුද්ධි මාරඹේ මහතා තම සමාගමේ පාලක මණ්ඩලයේ රැස්වීම් සඳහා සහභාගී කර එහිදී අවශ්‍ය තාක්ෂණික දැනුම පිළිබඳව අදහස් ලබා ගැනීමට ඔහුව සම්බන්ධ කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව ඔහු එලෙස එම සමාගමට සම්බන්ධ වූ බවයි.

එමෙන් ම රසායනික පොහොර තහනම් කිරීම සඳහා ඔහුගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුට දැඩි චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පලකර ඇත.

ඔහු පැහැදිලිවම සඳහන් කළේ ජනාධිපතිතුමන්ගේ මෙම හරිත කෘෂිකාර්මික සංකල්පය ඉතා අගනා සංකල්පයක් වන නමුත් එය ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාපටිපාටියේ යම් අපිළිවෙළක් පවතින බවයි.

එක් රැයකින් මෙලෙස රසායනික පොහොර තහනම් කිරීම තුළින් ගොවීන් අතිශයෙන් අපහසුතාවයට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

චීනයෙන් ගෙන්වන ලද පොහොර පිළිබඳව ද අදහස් දැක්වූ එතුමා පෙන්වා දුන්නේ එම පොහොර සාම්පල පිළිබඳව අවස්ථා දෙකකදී කරන ලද පරීක්ෂණ දෙකම මේ වන විට අසමත් වි ඇති වාතාවරණයක් තුළ තව දුරටත් පරීක්ෂණ සිදු කිරීමේ කිනම් ප්‍රතිඵලයක් ද යන්නයි.

මෙම පොහොර තොගයේ ශාක රෝග කාරක විෂබීජ අන්තර්ගතව ඇති බවටත් , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන ලද අංක 1704 දරණ ප්‍රමිතියට මෙම පොහොර තොගය සම්පූර්ණයෙන් ම විරුද්ධ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

එසේම මෙම පොහොර තොගය මෙරටට භාරගතහොත් එයින් අපේ පසට, කෘෂිකර්මයට, ආර්ථිකයට ආදී සෑම අංශයකටම සිදුවන හානිය කෙතරම් ද කියා පැවසිය නොහැකි බවත් එය කිසිසේත් නැවතත් සකස් කළ නොහැකි හානියක් බවත් ඔහු තරයේ කියා සිටියේ ය.

මෙම පොහොර සඳහා මුදල් ගෙවා හෝ නැවත හරවා යැවීම සිදුකළ යුතුම දෙයක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Exit mobile version