මෑතක සිට ශ්‍රී ලංකාවේ සරසවි භූමි පාදක කර ගනිමින් ඉතාමත් ලජ්ජා ශීලී පුවත් රාශියක් අපට අසන්නට දකින්නට ලැබිණ.එක් සරසවියක සිසුන් විසින් උප කුලපති වරයෙකුට නිල් වෙන්න ගුටි දෙන අතරේ තවත් බෞද්ධ සරසවියක කානු අස්සෙන් රහ මෙර බෝතල් ගෝනි ගණන් මතුවෙයි. කෙසේ නමුත් අප නම් ඒවා දැක්කේ එක්වරම කොහෙන් හෝ ගෙනත් දැමු අලුත්ම කැලි කසල තොගයක් ලෙසයි. එය හරියට ගෝඨාගෝ ගමේ මිනිසුන් එලවා දින කිහිපයකට පසු ගංජා පැළයක් පොලිසිය විසින්ම හොයා ගත්තා වගේම වැඩකි.
බෞද්ධ හා පාලි සරසවිය යතු උගත් බුද්ධිමත් ධර්මිශ්ඨ විනයගරුක සංඝ පරපුරක් පැමිණෙන උසස් අධ්‍යාපන ආයතනයකි.චරිත සහතික ඇතිව ගමේ පන්සල් වලින් සරසවිය වෙත පැමිණෙන ගුණවත් ධර්මිශ්ඨ සඟරුවන එම සරසවි භූමියෙන් එළියට පැමිණෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් අයුරිනි. එසේ සඝ පරපුර සමග බෞද්ධ දර්ශනයද විනාශ වන්නේ පාලකයන්ගේම වරදිනි. නමුත් බෞද්ධ දර්ශනය තුල සඝ පරපුර විනාශ වන ආකාරය උගන්වා තිබෙන අතර, භික්ෂූන් වහන්සේලා ගැන විවේචනය කරමින් අපට පව් පුරවා නොගන්නා ලෙසද බෞද්ධ දර්ශ්නයේම උගන්වා තිබේ.
මොවුන් මෙසේ දුර්ජන ප්‍රජාවක් බවට පත් කරන්නේ කවුද? ඒවාට වගකිව යුත්තන් කවු ද? සහ තවත් කරුණු රාශියක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම මහතා සමග ඕමල්පේ සෝභිත නාහිමි විසින් කරන ලද සාකච්ඡාවකදී අනාවරණය විය.
මෙහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම බෞද්ධ හා පාලි සරසවිය ඇතුළුව සියලුම විශ්වවිද්‍යාල තුළ සිදුවන අකටයුතුකම් වලට වගකිව යුත්තේ එම විශ්වවිද්‍යාලවල පාලන අධිකාරිය බවයි.ඔවුන්ගේ පාලන ක්‍රියාවලිය නිසි අයුරින් සිදු වන්නේ නම් සිසුන් මෙසේ පිස්සු නටන්නේ නැති වන්නට ඉඩ තිබුණි. ඔවුන්ට තමන්ට හිතූ හිතූ අයුරින් කටයුතු කරන්නට අවස්ථාව නොලැබෙණු ඇත.
උදාහරණ වශයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ එහි සිසුන් කවදාකවත් මෙවැනි දුර්ජන වැඩ සිදු කර නොමැති බවත් ඔවුන් එහි අධ්‍යාපනය හොඳින් ලබමින් හික්මීමකින් යුතුව කටයුතු කරන බවත්ය.
සමාජ මාධ්‍ය ඔස්සේ පවා විශ්ව විද්‍යාල තුළ දුම් පානය කරමින් මත්ද්‍රව්‍ය භාවිත කරමින් පාටි දමන අයුරු දකින්නට ලැබුණි.බෞද්ධ හා පාලි සරසවිය තුළ පවා මෙම සිදුවීම දක්නට ලැබීම කණගාටුවට කරුණකි.බුදු දහම ප්‍රචාරය සඳහා කටයුතු කරන්න සිවුරු දරා ගන්නා මෙම භික්ෂූන් වහන්සේ මෙසේ විකෘත්ති තත්ත්වයට පත්ව ඇත්තේ කෙසේද යන්න පුදුමයට කරුණකි.බෞද්ධ රටක බෞද්ධ භික්ෂූන්ගේ මෙවැනි ක්‍රියා ලෝකයා ඉදිරියේ දිග හැරීම තුළින් ලොවක් ඉදිරියේ ලජ්ජාවට පත් වන්නේ අපේ රට මෙන්ම ආගම ජාතියයි.
ඕමල්පේ සෝභිත හිමි විසින් මෙහිදී මෙම සිදුවීම් සඳහා වගකිව යුතු පාර්ශව 03ක් පෙන්වා දෙයි.එහි ඉහළින්ම සිටින්නේ උප කුලපති ඇතුලුව විශ්ව විද්‍යාල පාලන අධිකාරියයි.වගකිව යුතු දෙවන පාර්ශවය රජය වන අතර තෙවන පාර්ශවය වන්නේ සිසුන්ය.
බෞද්ධ හා පාලි සරසවියේ උප කුලපති ස්වාමීන් වහන්සේ විසින් ම වරෙක මෙම සරසවියේ භික්ෂු සිසුන්ගේ චරිතය පිළිබඳ විවිධ ප්‍රකාශ සිදු කර ඇත.බුදුන් වඳින්න එන්න කිව්වම පොලු මුගුරු රැගෙන විත් තර්ජනය කරන බවත් තවත් විටෙක එහි ශීෂ්‍ය සංගමය විසින් බෝධි අංකුරයක් ඉවත් කළ යුතු බවට තමන් ට සඳහන් කළ බවත් උපකුලපති ස්වාමීන් වහන්සේ විසින් සඳහන් කළ බව මෙහිදී චමුදිත සමරවික්‍රම මහතා පෙන්වා දෙයි.
කෙසේ නමුත් ඕමල්පේ සෝභිත හිමි මෙහිදී ප්‍රකාශ කළේ මෙය බෞද්ධත්වය විනාශ කිරීම සඳහා රට තුළ ක්‍රියාත්මක වන කුමන්ත්රණයක ප්‍රතිඵලයක් වන බවත් මේ වන විටත් බෞද්ධ හා පාලි සරසවිය එහි ගොදුරක් වී හමාර බවත් මේ සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සහය දක්වා ඇති බවත් ය.
සරසවි තුළ සිදු වන මෙවැනි ක්‍රියා වළක්වා ගැනීමේ හැකියා හිමි වන්නේ මෙම සරසවි පාලන අධිකාරිය තුළට දේශපාලනයට නොනැමෙන, ධනයට බලයට හිස නොනමන සෘජු තීරණ ගත හැකි තම තනතුරු තාන්න මාන්න රැක ගැනීමේ අභිලාශයෙන් කටයුතු නොකරන ,වැරැද්දක් සිදුවන තැන අඳගොළුබීරි අයවලුන් මෙන් ක්‍රියා නොකරන පුද්ගලයින් පත් වුවහොත් පමණක් බව ද මෙහි දී ඕමල්පේ සෝභිත හිමි විසින් ප්‍රකාශ කළේය.