ශ්‍රී ලංකාව යනු දහසක් මරණ උඩ සිට පැනි කන, සෑම අතකින්ම දූෂිත වු රටකි. දිනෙන් දින දුෂණය වෙමින් පැවතුනත් ඒවාට හේතූන් මොනවාද යන්න හදුනා ගැනීමට හෝ හදුනා ගත් දේවල් යහපත් ලෙස වෙනස් කරගැනීමට ශ්‍රී ලංකාවේ පාලකයන් නොහොත් මහජන කැමත්ත මත පත්ව සිටින මහජන නියෝජිතයන් අපොහොසත්ව සිටී. ඒ සියල්ල වෙනස් කිරීමට මග පෙන්විය යුතු සහ රට නිසි මග රැගෙන යා යුතු රාජ්‍ය සේවකයන්ද දුෂිතව තිබේ.
සර්වාගමිකයන් ජීවත් වන, බෞද්ධ ආභාෂයෙන් සාමය සහ සංහිදියාව පවත්වාගෙන යන, බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාව පිලිගෙන තිබේ. නමුත් රටේ වැසියන්, රාජ්‍ය සේවකයන් මෙන්ම තාවකාලිකව පත්වන මහජන නියෝජියන්ගෙන්ද සියයට 20 ක්වත් තම ආගමට අනුව ජීවත් නොවන බව පැහැදිලි වේ.
එවන් පසුබිමක තම ආගම සහ එහි ඇති විවිධ සංස්කෘතික කොටස්ද විනාශ කිරීම ඇරඹෙන්නේ ද සිංහල බෞද්ධයන් විසින්මය. එහෙත් ඔවුන් නාමිකව පමණක් සිංහල බෞද්ධ බවට පත්ව තිබෙන අතර ඔවුන් සතුව ආගමිකත්වයක්, දේශීයත්වයක් හෝ ආගමික ලබ්දියක් හෝ දක්නට නැත. රට වනසන්නෝ වන්නේ ඔවුන්මය.
මේ අතර වංචා, දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් බදුල්ල සොරගුණේ කුඩාකතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා ධූරයෙන් නෙරපන ලදී. තවත් දේවාල වල මෙන්ම නින්දගම්වලද වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා තිබුණත් රාජ්‍ය බලධාරීන් නිහඩය. ඒ දුෂිත මුදල්වලින් කොටසක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් , විගණන නිලධාරීන් ඇතුලු අනෙකුත් කොමසාරිස්වරුන්ටද ලැබෙන බැවිනි.
මෙසේ දියවඩන නිළමේවරයාගෙන් සහ බස්නායක නිලමේවරුන්ගෙන් (සියලු දෙනාගෙන්ම නොවේ) ලක්ෂ ගණන් මුදල් අල්ලස් ලෙස ඉපයූ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක් වන බෞද්ධ කටයුතු අධ්යක්ෂ ජනරාල් කාරියවසම් පසුගියදා ධීවර දෙපාර්තමේන්තුව වෙත ස්ථානමාරු යවන ලදී. අනෙක් නිලධාරියා වන කොමසාරිස් සහන් කුරුප්පුටද හෙට අනිද්දා වන විටම වෙනත් දෙපාර්තමේන්තුවකට යාමට හැකි වන ලෙස ස්ථාන මාරු ලබා දීමට නියමිතව ඇත. ඉතිරිව සිටින්නේ ප්‍රධාන විගණක ලෙස කටයුතු කරන ජී. චන්ද්‍රසේන පමණි.
කූඨ උපායන් හොඳින් හුරු පුරුදු තැනැත්තෙක් වන චන්ද්‍රසේන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ස්ථාන මාරු ලබා පැමිණෙන්නේ 2016 අවුරුද්දේ වන අතර, දැනට අවුරුදු අටක සේවා කාලයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ කර ඇත.
විගණකවරයෙක් යනු ආයතනයක අවංක, විනිවිද හා පිරිසිදු නිලධාරියෙකු විය යුතු වුවත් මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය ඊට වඩා වෙනස්ය. ඔහුට පැවරී තිබෙන රාජකාරිය වන්නේ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විහාර සහ දේවාල වල කටයුතු විගණනය කිරීමයි. ඔහු කටයුතු කළ යුත්තේ බෞද්ධ කටයුතු අධ්යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදිය. නමුත් දෙදෙනාම හොරුන්වන විට ඔවුන්ට ඕනෑ ඕනෑ ආකාරයට සියල්ල සිදු වේ.
සීනිගම දේවාලයේ භාරකාරයා සරත් යනු චන්ද්‍රසේනගේ කුලුපග මිත්රයෙකි. ඔහුගේ මෝටර් රථ තීරුබදු බලපත්‍රය සීනීගමට විකුණාගැනීමට ගත් වෑයමක්ද අපට අනාවරණය වී තිබේ. සරත්ට සීනිගම තාවකාලික භාරකාර ධූරය ගැනීමට හැකි වන ලෙස කප් හිටුවීමේ ප්ලෑන සකස්කර තිබෙන්නේද චන්ද්‍රසේනය. ඒ වෙනුවෙන් දිසෙන්තුවාහැන්දිගේ හෝටලයේ දින කිහිපයක සංග්‍රහ සත්කාර පමණක් නොව හොඳ අරක්කු සත්කාරයක් ද චන්ද්‍රසේනට ලැබී තිබේ. මේ පිළිබදව සම්පුර්ණ විස්තරයක් අප ඉදිරියේදී පලකරනු ඇත.
මේ අතර සොරගුණේ කුඩාකතරගම දේවාලයේ විගණන කටයුතු සදහා පසුගිය 12 හෝ ආසන්න දිනයකදී චන්ද්‍රසේන ඇතුලු කණ්ඩායමක් පැමිණ තිබේ. මෙම නඩය රාත්‍රිය ගත කරන තිබෙන්නේ හපුතලේ විහාරගල පිහිටි ස්කයිෆෝල් නම් තරු හෝටලයේ බවට තොරතුරු ලැබී තිබේ .
ධූරයෙන් ඉවත් කළ හිටපු බස්නායකවරයාද මුහුණ පුරා රැවුල වවාගෙන, කැප් තොප්පි පළඳා විගණනක චන්ද්‍රසේන මුණ ගැසුණු බවද සාක්ෂි සහිතව තොරතුරු ලැබී තිබේ.
ඊට අමතරව, විදේශීය මත්පැන් බෝතල් සහ අවශ්‍ය වෙනත් මස් මාංශ ද වර්තමාන බස්නායක කුමාරසිංහ බණ්ඩාර විසින් ස්කයිෆෝල් හෝටලයට ගෙනැත් දී තිබේ. ඒවා සමඟ රුපියල් තිස්දහසක හෝටල් බිලක් ගෙවන්නටද බස්නායක නිලමේවරයා කටයුතු කර තිබේ.
මේ සංග්‍රහ සියල්ල විඳ, ඊයේ උදෑසන හල්දුම්මුල්ල සොරගුණේ දේවාලයට ගිය චන්ද්‍රසේන හා ඔහුගේ හොර විගණන කල්ලිය කතරගම දෙවියන් බැහැ දැක තිබේ.
මීට පෙර 2022 දී බලංගොඩ බෝධිය අසලදී චන්ද්‍රසේන හමුවීමට කැබ්රියක පැමිණි හිටපු බස්නායක නිළමේවරයා මුදල් සහිත මල්ලක් දී ගිය බවටද ඇසින් දුටු සාක්ෂි අපට ලැබී තිබේ.
රුපියල් තිස්දහසක හෝටල් සත්කාර විදිමින් අපක්ෂපාතී විගණන කරන චන්ද්‍රසේන, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේ 2016 දීය. එතැන් පටන් දළදා මාලිගාව, සීනීගම, සොරගුණේ, මහ සමන් දේවාලය, පැල්මඩුල්ල විහාරය, රුහුණු කතරගම, බදුල්ල කතරගම දේවාලය ආදි හැම තැනකින්ම හොදින් කමින් බොමින් ‘අපක්ෂපාතී විගණන’ සිදු කර ඇති ආකාරය ගැන අමුතුවෙන් ලිවීමට දෙයක් නැත. අප ගවෙිෂණාත්මක හඹා යෑම්වලින් මෙම ස්ථාන ගණනාවක වංචා දුෂණ හෙලිදරව් කර තිබේ. බුදු දහම වැනසීමට ආධාර උපකාර කරන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඒවා අසු වී නැති වීමෙන්ම ඔහුගේ විගණනය සිදුවන ආකාරය ගැන අමුතුවෙන් යමක් ලිවීමට අවශ්‍ය නැත.
2016 සිට මේ දක්වා අවුරුදු 08 ක් එකම සේවා ස්ථානයක රාජකාරි කරන මෙම කුප්‍රකට ගණකාධිකරණ සේවාවේ විගණන නිලධාරියා, නිලමේවරු අමතා අරක්කු ගෙන්වා ගෙන තිබෙන හැටි කියවෙන හඬපටද අපට ලැබී තිබේ.
රජයේ සැම නිලධාරියෙක්ම අවුරුදු පහෙන් පහට මාරු වීම අනිවාර්ය වුවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහන් කුරුප්පු අවුරුදු 12 ක් සහ චන්ද්‍රසේන අවුරුදු 8 ක් වශයෙන් ස්ථාන මාරු නොලබා හිඳින්නේ කාගේ අනුහස් පිටද?. එබැවින් මෙම නිලධාරීන්ගෙ රාජකාරී පැහැරහැරීම් පිලිබදව විමර්ශන ආරම්භ කල යුතුය. විගණන නිලධාරියාට එරෙහිවත්, සහන් කුරුප්පුට විරුද්ධවත් තිබෙන චෝදනාවලට අවශ්‍ය සියලු සාක්ෂි ලබා දීමට අප සුදානම්ව සිටී. ඒ සදහා මුලික විමර්ශනයක් අරඹා එම විමර්ශන කණ්ඩායම අපගෙන් අදාල තොරතුරු ලබා ගත යුතුය.