භූ විද්‍යාවේ සභාපති ඉල්ලා අස් වේ. ජනාධිපතිවරයා නැති අතරේ දැඩි බලපෑම් !. ප්‍රධාන ලේකම්වරයෙක් සම්බන්ධයි!

දේශපාලන බලපෑම් හේතුවෙන් භූ විද්‍යා සමීක්ෂණ , පතල් හා කැනීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සන්ජේ පෙරේරා මහතා සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් දසනායක මහතාට අද (29) ලබා දීමට නියමිතව තිබේ. එයට හේතුව ලෙස අපට වාර්තා වන්නේ සන්ජේ පෙරේරා මහතා යටතේ එම කාර්යාංශයේ කටයුතු නීතියට අනුවම කිරීමත්, රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබු නීතිවිරෝදී පතල්, වැලි, ගල්වලවල් ආදිය ඇල්ලීම නිසා සමහර දේශපාලඥයන්ගේ හිත රිදී තිබීමයි.

එසේම සන්ජේ පෙරේරා මහතාට එවැනි වැටලීම් නොකරන ලෙසද, මැතිවරණය ආසන්න බැවින් එම අයගෙන් උපකාර අවශ්‍ය බවටද බලපෑම් තිබී ඇත. එසේ කිරිමට නොහැකි නිසා මෙම ඉල්ලා අස්වීම සිදුකරන බවද වැඩි දුරටත් වාර්තා වේ.

අචාර්ය සන්ජේ පෙරේරා මහතා ද පොදුජන පෙරමුණ පක්ෂය බලයට ගෙන ඒමට විශාල ලෙස කැප වූ අයෙකු වුවත් රජයෙන් දේශපාලනික වශයෙන් කිසිදු පත්වීමක් ලබාගෙන තිබුණු බවක් වාර්තා නොවුනි. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර ඇමති ලෙස පත්වීමෙන් අනතුරුව මාස කිහිපයකට පෙර මෙම පත්වීම ලැබිණි. එසේම කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල යෙදුවේද ඒ මහතාය. කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත වීමත් සමගම සිය ඉල්ලා අස්වීම ලබා දීමට ඒ මහතා කටයුතු කරමින් සිටි නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුනේ ඉල්ලා අස්වීමක් අවශ්‍ය නැති බවයි.

එසේම කැණීම් බලපත්‍ර ලබා දීම වෙනුවෙන් මෙම කාර්යාංශයේ නිලධාරීන් අල්ලස් ලබා ගන්නේ අසීමිත ලෙසය. අයදුම්පත්‍රවල ඉදිරිකටයුතු සිදුවන්නේ අල්ලස් ලබා දෙන ප්‍රමාණයට අනුවය. කෙසේ නමුත් සන්ජේ පෙරේරා මහතාගේ සමයේ අල්ලස් ලබා ගැනීමටද වැට බැඳී ඇති අතර දින කිහිපයක් තුල අත්සන් තබා තිබෙන නීත්‍යානුකුල අයදුම්පත්‍ර වල ප්‍රමාණය 90% ක් පමණ බවත් වාර්තා වේ. මීට පෙර එම අයදුම්පත් වෙනුවෙන් ගෙවිය යුතු අල්ලස් මත අත්සන් කිරීම සිදු වේ. එවැනි අක්‍රමිකතා කල නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ ද ඒ මහතා යොදා තිබේ.

ඒ අනුව නව සභාපතිවරයා ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත පුද්ගලයෙකු පත්කිරීමට නියමිතව තිබේ. ඉදිරි මැතිවරණය ඉලක්කකරගෙන රට පුරා විනාශකාරී ලෙස කැනීම් බලපත්‍ර ලබා දීමට, නීතිවිරෝදී ලෙස කැනීම් කරගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට හැකි ලෙස නව පත්වීම සිදුකිරීමට නියමිත බවද රටට හිතැති නිලධාරින් ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙරට දේශපාලන නායකයන් තවමත් ඉගෙන නැති දෙයක් තිබේ. එනම් ඉදිරි අවුරුදු 6 ක් වැනි කාලය යනු දුෂිත දේශපාලඥයන් , නිලධාරින්, ඔවුන් සමග එකතුව සිටින දුෂිත මහජනතාවටද එරෙහිව ගම් මට්ටමින් සංවිධානය වෙමින් ඔවුන් පලවා හැරීමේ ක්‍රියාවලියක ආරම්භය සිදුවන්නේ මෙවැනි කටයුතු නිසා බවයි. මාස කිහිපයක් තුල මහජන රාජකාරිය නිසි අයුරින් ඉටුකළ අචාර්ය සන්ජේ පෙරේරාගේ ඉවත්වීමට මාධ්‍ය ආයතනයක් ලෙස අපද කනගාටුවන්නේ, ඔහුගේ ක්‍රියාදාමය රට වෙනුවෙන් නිසි ලෙස ඉටුකළ බව අප දුටු බැවිනි. ඒවා අප සියුම්ව ගවේෂණය කළේය.

එබැවින් මෙම ඉවත්වීම ජනාධිපවරය විසින් අනුමත නොකළ යුතු බවද අපගේ මතය වන්නේ, භූ, විද්‍යා, කැණීම් සහ පතල් කාර්යාංශය යනු හොරුන්ගේ ගුහාවල් නොව, එම දුෂිත නිලධාරීන්ගේ පාරාදීශයක් බැවිනි. එය වෙනස් කිරීමට නම් මෙවැනි මිනිසුන් එවැනි ආයතනවල සිටිය යුතු බැව් ජනාධිපතිවරයාට අප අවධාරණය කරන්නෙමු.

යාවත්කාලින කිරීමයි.. නව සභාපතිවරයා ලෙස පත්කිරීමට යෝජිතව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට මෙවර තරඟ කිරීමට සිටින පුද්ගලයෙක් ලෙස නිවැරදි විය යුතුය. පොදුජන පෙරමුණ පක්ෂයට ඉන් යම් අපහසුතාවයක් ඇති වුයේ නම් ඒ පිළිබඳව අපගේ කණගාටුව පලකරමි. එය යතුරු ලියනයේදී සිදුව තිබෙන දෝෂයකි!

Exit mobile version