“මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සියල්ලක්ම සිදු කරන්නේ රටේ අනාගතයේ බාරගැනීමට සිටින දූ දරුවන් වෙනුවෙන්.”
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා.
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයින් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබීය.
එහිදී චාමර සිල්වා සහ කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙසත්, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් පත්වීම් භාරගත්හ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
වසර හතලිහක පමණ කාලයක සිටම පාසල් හා සම්බන්ධ ඉතාමත් සමීපව අතීතයක් මට තිබෙනවා. ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ වූ මගේ පියා සමග එම විද්‍යාලය තුළ දීර්ඝ කාලයක් අප ජීවත් වුණා. එමෙන්ම කොළඹ සහිරා විද්‍යාලයේ පළමු සිංහල විදුහල්පතිතුමා වශයෙන්ද ඔහු කටයුතු කළා. එහිදී ඔහු දරුවන් හැසිරවූ ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් මටද තිබෙනවා.මේ වන විට අප ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සියල්ලක්ම අප සිදු කරන්නේ රටේ අනාගතයේ බාරගැනීමට සිටින දූ දරුවන් වෙනුවෙන්.
එවකට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී නිසි ආකාරයෙන් පාසලට නොපැමිණෙන ශිෂ්‍යයෙක් අනුරාධපුර ප්‍රදේශයේ රැඳී සිටින බවට දැනගන්නට ලැබීමෙන් අනතුරුව මගේ පියා මෝටර් රථයෙන් අනුරාධපුරයට සොයා ගෙන ගොස් ඔහු අපගේ නිවසට කැඳවාගෙන පැමිණියා. පසුව ඔහු නිවැරදි මාර්ගයට යොමු වෙන තෙක් අපේ නිවසේ රඳවාගෙන අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.
අද පොලිසිය, තරුණ සේවා සභාව ඇතුළු සියලුම ආයතන එක්වී සිදුකරන්නේද වැරදි මගට යොමු වුන තරුණ පිරිස් නිසි මඟට යොමු කිරීමයි. දරුවන් අතරේ සිටින එවැනි නොමගට යොමු වූ දරුවන් පිළිබඳව දෙමාපියන් ගුරුවරුන් දැනුවත් කර ඔවුන් නිවැරදි මාර්ගයට යොමු කිරීමට ඔබටත් දායක විය හැකියි. පොලිසිය විසින් සිදු කරන්නේ ද එවැනි තරුණ පිරිස් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමයි. එවැනි නොමඟට යොමු වූ දරුවන් නිසි මඟට ගැනීම සඳහා ක්‍රීඩාව වැනි ක්‍රියාකාරකම්වල යෙදවීම ඉතාමත් වැදගත්.රටේ මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය අවසන් කරනතුරු මේ මෙහෙයුම් අප නතර කරන්නේ නැහැ. කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ. ඒ සඳහා තරුණ දරුවන්ගේ මෙන්ම දෙමාපියන් ඇතුළු සමාජයේ සියලු දෙනාගේම සහයෝගය අපට අවශ්‍යයි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා, පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශය