මත් පැන් සාදයක් අතරතුර සිදු වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පහර කෑමකට ලක්ව කොන්දොස්තරවරයෙකු මිය ගිය පුවතක් වාර්තා වේ. මිය ගිය ලංගම කොන්දොස්තරවරයා මොණරාගල සිට කටුනායක දක්වා ධාවනය වන ලංගම බස් රථයක සේවය කර ඇත. මිය ගිය කොන්දොස්තරවරයා සහ බස් රථ රියදුරු සිය ගමන් වාර අවසානයේ සෑම දිනකම වලාන සිරිසුමන විහාරයේ නවාතැන් ගෙන ඇති බව වාර්තා වේ.
මොවුන් පෙරදා මෙන් ඉකුත් 23 වන වන දා සිය ගමන් වාර අවසානයේ විහාරස්තානයේ නවාතැන් ගෙන ඇත. එදින මොවුන්ගේ හිතවතෙක් ඔවුන් සමග නවාතැන් ගෙන ඇත. එදින මොවුන් තිදෙනා මත්පැන් පානය කර ඇති අතර එම අවස්ථාවේදී රියදුරා සහ කොන්දොස්තරවරයා අතර බහින් බස් වීමක් ඇති වී තිබෙන අතර එම බහින් බස් වීම දුර දිග ගොස් රියදුරා විසින් කොන්දොස්තරවරයාට කැඩුණු බෝතල් වීදුරුවකින් පහර දී ඇති බව වාර්තා වේ.
පහර කෑමට ලක් වූ කොන්දොස්තරවරයා රියදුරා සහ අනෙක් පුද්ගලයා විසින් මීගමුව රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී ප්රතිකාර ලබමින් සිටියදී කොන්දොස්තරවරයා මිය ගිය බව වාර්තා කරයි .
බස් රථයේ රියදුරු අත්තඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කිරිමට නියමිත බව කටුනායක පොලීසිය සදහන් කරයි.