පොලීසියට ලද තොරතුරකට අනුව කළ හදිසි සෝදිසියකදී මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ මත්ද්‍රව්‍ය සහිත උපකරණයක් සොයා ගැනීමට හැකිවූ බවට මාවතගම පොලීසිය පවසයි.
සාමාන්‍ය ප්‍රමාණයක සුවඳ විලවුන් බෝතලයකට සමාන හැඩහුරුවකින් යුත් මෙම උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය පානය කිරීමෙන් මත් ගතියක් ලැබෙන බවට අත්අඩංගුවට ගත් සිසුන් ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් එක් සිසුවකු ඔහුගේ පොත් බෑගය පාසල ආසන්නයේ පිහිටි නිවසක තබා ගොස් තිබූ අවස්ථාවේදී නිවෙස් හිමි කාන්තාවට සැක සිතී කළ පරීක්ෂාවකදී මෙම මත් උපකරණය බෑගය තුළ තිබෙනු දැක ඇත.
පසුව ඇය ඒ බව මාවතගම පොලීසියට කළ දැනුම් දීමකට අනුව බෑගය හිමි සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම නවතම මත් උපකරණ පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
එම සිසුවාගෙන් වැඩි දුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව ඔහුට ඒවා අලෙවි කළ බව කියන මාවතගම නගරයේ ව්‍යාපාරික ස්ථානයක් වටලා සිදු කළ පරීක්ෂාවකදී එහි තිබූ එවැනිම තවත් මත් උපකරණ දෙකක්ද එම පාසල ආසන්නයේ පිහිටි නිවසක පදිංචි මෑතකදී පාසලෙන් ඉවත්වූ තවත් සිසුවකු සතුව තිබී තවත් එක් උපකරණයක්ද පොලීසියට හමුවී තිබේ.