මරගම පොලිස් ස්ථානාධිපති ගොරකා දඩමස් කල පුංචි එකියක්ට කල පහර දීම. දරුවන් වෙනුවෙන් කටයුතු සිදුවන්නේ මෙසේ නම් අනිත් කටයුතු ගැන කවර කතාද?

“හොඳම දේ දරුවන්ටයි” යන්න ඔබ අප කවුරුත් අනුමත කරන කියමනකි. රටක අනාගතය භාර ගන්නා දරු පරපුර අනිවාර්යයෙන්ම හොඳම දේ ලැබීමට හිමිකරුවෝ වෙති. වැඩිහිටියන් ගේ අවශ්‍යතා හා උවමනාවන් සමග සංසන්දනය කිරීමේදී මනාව පැහැදිලි වන්නක් නම්, දරුවන්ගේ උවමනා එපාකම් ඊට වඩා හාත්පසින්ම වෙනස් වන බවයි. ඒ හා සමානවම, දරුවන් ආරක්ෂා කිරීමට පැවතිය යුතු යාන්ත්‍රණය සහ නෛතික රාමුවද “ළමයා” යන සංකල්පය මත පිහිටා ගොඩනැගිය යුතු ය. එය මානව අයිතිවාසිකම් වලට එහා ගිය සුවිශේෂී හැදින්වීමකි.

මහරගම ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක, හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන එකොළොස් හැවිරිදි (11) දියණියට, එම විදුහලේ බටහිර සංගීතය උගන්වන සෞන්දර්ය ගුරුවරිය අනිත් සිසු දැරියන් අබියස දී අමානුෂික අන්දමින් (පංති කාමරයේ දී) පහරදීමේ පුවතක් “ගඟන” පුවත් වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව පොලිසිය එම සිද්ධිය සුළු පැමිණිල්ලක් සේ වාර්තාකර තිබෙන අතර එම ගුරුවරිය පුරුද්දක් සේ දරුවන්ට පහර දෙන ගුරුවරියක් බවටද වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ බහුතර පොලිස් ස්ථානාධිපතිවරුන් පාසල්වලදී සිදුවන ක්‍රියාකාරකම්වලට ගුරුවරුන්ගේ පැත්ත ගන්නා අතර දරුවන් කෙරෙහි අවධානයක් යොමු නොකරන තත්වයක් වාර්තා වේ. එවැනි සිද්ධීන්වලදී විදුහල්පති ඇතුළු ගුරුවරුන් කිහිපදෙනෙකු පොලිසියට ගොස් වරද කල ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටිමින් එසේ අසාධාරණයට ලක්වන දරුවන් සහ දෙමාපියන්ට එරෙහිව පෙනී සිටී.

මරගම සිද්ධිය පහතින්.

පාසල අවසන් වී නිවසට පැමිණි දියණිය දැඩි ලෙස රෝගාතුර වූයෙන් පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත කළුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව සිදුවුණු තුවාලවලට සහ පහරදීමෙන් ඇතිවුණු මානසික පීඩාවට, එම රෝහලේ මානසික වෛද්‍යවරයා යටතේ උපදේශන සේවාව ලබාගන්නා අතර, ඇය දැනට මහරගම බණ්ඩාරනායක ආයුර්වේද රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.

පසුගිය දිනක පෙරවරුවේ, විදුහලේ පංති කාමරයේදී ටීචර්ගේ පහරකෑමට ලක්වුණු මෙම දැරිය, එම පහරේ වේදනාව දරාගෙන පංති කාමරයේ සිට ඇත. ඇයට ප්‍රතිකාර ලබාදීමට වගකිව යුතු කිසිවකු යොමු වී නැත. පාසල අවසන් වී මව සමග නිවසට පැමිණි මෙම දැරිය, තමුන්ට ටීචර් පහර දුන් බව ප්‍රකාශ කර තිබේ.

ඒ තුවාල නිසා ඇතිවූ වේදනාවෙන් නිවසේ පසුවුණු අවස්ථාවේ, මව ඒ ගැන විමසූ විටය. දියණියගේ මව මේ ගැන පංතිභාර ගුරුතුමියට දුරකථනයෙන් දැනුම් දුන් නමුදු, මේ ගැන කිසිවක් තමන් නොදන්නා බව ඇය පවසා තිබේ.

අනතුරුව අංශ භාර ‘මැඩම්ට’ දන්වා සිටි අවස්ථාවේ ඇය සඳහන් කර ඇත්තේ විදුහල්පතිනියට දැනුම් දෙන ලෙසය. විදුහල්පතිනියගේ දුරකථන අංකය නොමැති හෙයින්, නියෝජ්‍ය විදුහල්පතිනියට කතා කළ අවස්ථාවේ ඇය දන්වා ඇත්තේ “හෙට දිනයේ මං නිවාඩු නිසා පසුදින හමුවන්න” ලෙසය.

වෙනත් විකල්පයක් නොමැති තැන, මහරගම පොලිසියේ කාන්තා කටයුතු අංශයට සිසු දැරියගේ මව කළ පැමිණිල්ලට දින තුනක් ගතවූ තැන පොලිසියට පැමිණ ඇති සංගීත ගුරුවරිය පොලිස් ස්ථානාධිපති හමුවී තිබේ.

පොලිසිය මෙම හිංසනය, සුළු පහරදීමක් සේ සලකා අධිකරණයට යොමු කර ඇත.

මේ වන විට ටීචර්, ඇප මත පසුවන්නීය. පහරදුන් අවස්ථාවේ, මෙම සිද්ධිය ඇස දුටු දියණියන් කිහිප දෙනකු මාධ්‍යයට පවසා සිටියේ මෙවැන්නකි.

“ටීචර්, එක දිගට පිට මැද්දට පහර දෙන කොට, මට බලාඉන්න බැරි හින්ද ඇස්දෙක පියාගත්තා.”, “ටීචර් පහරදෙන කොට මම හිතුවා මෙයා මැරේවි කියලා.”, “ටීචර් දහයක් පහළොවක් විතර ගහන්න ඇති.”

මෙම හිංසනය සිදුවුණු අවස්ථාවේ, පංතියේ සිටි සිසුවියන්ගේ ඇස දුටු සාක්‍ෂි කිසිවක්, මහරගම පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනියන්, මේ දක්වා සටහන් කරගෙන නැතැයි මව කියයි.

දැරියට පහරදීම සම්බන්ධව අදාළ සෞන්දර්ය ටීචර්ට එරෙහිව අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ගයක් විදුහල්පතිනිය විසින් ගෙන නැති බව ද පැවසෙයි.

මෙම විදුහලේ ගුරුවරියක වන මහරගම නගර සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිනියකගේ මාර්ගයෙන් මෙන්ම, විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු වෙනත් විදුහලක ගුරුවරයකු යොදවාගෙන, මෙය ගොඩින් බේරා ගැනීමට, විදුහල්පතිනිය කටයුතු කරමින් සිටින බවට ද චෝදනා එල්ල වෙයි.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ද, ජයවර්ධනපුර පළාත් අධ්‍යාපන කාර්යාලයට ද මෙම සිද්ධිය පිළිබඳව දෙමාපියන් පැමිණිලි කළ මුත්, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැත.

මෙම ගුරුවරිය වෙනත් බාලිකා විදුහලක සිටියදී මෙවැනිම වූ පහරදීමක් නිසා, ඇයට එරෙහිව සිදුවුණු උද්ඝෝෂණය නතර වී ඇත්තේ මෙම විදුහලට ස්ථාන මාරුකිරීමෙන් අනතුරුවය.

බණ්ඩාර කඳුළුගමුව – නාරහේන්පිට.

ළමා අයිතිවාසිකම් ප්‍රකාශය

ළමා අයිතිවාසිකම් වෙනුවෙන්ම සැකැසුණු එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රකාශය 1959 වසරේ නොවැම්බර් මස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිකුත් කරන ලදි. මෙහිදී ප්‍රතිපත්තීන් දහයක් ලොවට හඳුන්වා දෙන ලද අතර, ඒවා පහත පරිදි වේ. ශ්‍රී ලංකාව තුල එය විවිධ අයුරින් කොටස් කර වගන්ති 41 ක් දක්වා පැහැදිලි කර තිබේ.

  1. සමානාත්මතාවයට ඇති අයිතිය හෙවත්, ජාතිය හෝ ආගම මත පදනම් ව වෙන් කොට සැළකීමෙන් වැළකී සිටීමට ඇති අයිතිය.
  2. ශාරීරික, මානසික හා සමාජයීය වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන විශේෂ ආරක්ෂාව සඳහා වන අයිතිය.
  3. ජාතියකට අයත් වීමේ හා හඳුනා ගැනීමේ නමක් ලැබීමේ අයිතිය. (The right to a name and a nationality)
  4. නිසි පෝෂණය, නිවාස පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අයිතිය.
  5. ශාරීරික හෝ මානසික වශයෙන් ආබාධිත තත්වයෙහි පසුවන ළමුන්ට අවශ්‍ය විශේෂ අධ්‍යාපන හා අනෙකුත් පහසුකම් සඳහා වන අයිතිය.
  6. දෙමාපියන්ගෙන් සහ සමාජයෙන් ආදරය ලැබීමට හා ළමුන්ව තේරුම් ගැනීමට ඇති අයිතිය.
  7. නිදහසේ අධ්‍යාපනය ලැබීමට සහ ක්‍රීඩාවන්හි නිරත වීමට ඇති අයිතිය.
  8. සියළුම අවස්ථාවන්හීදී ලැබිය යුතු සහනයන් සඳහා ප්‍රමුඛත්වයෙහි ලා සළකනු ලැබීමට ඇති අයිතිය.
  9. සියලුම ආකාරයන්හී නොසලකා හැරීම්, ප්‍රචණ්ඩත්වයන් සහ අපයෝජනයන්ගෙන් මිදී ජීවත් වීමට ඇති අයිතිය.
  10. ඉවසීම, අවබෝධය, මිත්‍රත්වය සහ විශ්වීය සහෝදරත්වය යනාදියෙන් පිරී ඇති පරිසරයක හැදී වැඩීමට ඇති අයිතිය.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රකාශයේ පූර්විකාව ද ළමා අයිතිවාසිකම් පිළිබඳ ඉතා විශාල වපසරියක් ආවරණය කරයි. ඊට අනුව ළමුන් යනු ඉපදීමට පෙර හා ඉන් පසුව ද විශේෂ ආරක්ෂාවන්ට හා සැළකිල්ලකට මෙන්ම, නෛතික ආරක්ෂාවන්ටද යටත් විය යුතු අයවලුන් වේ. මේ අනුව පෙනී යන්නේ අන්තර්ජාතික නීතියේ පිළිගත් මූලධර්මයන්ට අනුව දරුවකුට ළමා අයිතිවාසිකම් හිමි වන්නේ එම දරුවා උපදින්නටත් පෙර සිටම බවයි.

සුළු පහරදීමකට එහා ලැබිය යුතු දඩුවම් මෙම පහරදීම මගින් අනාවරණය වන  අතර ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 112,120, 174, 330, 340, 341, 312, ආදී වගන්ති ගන්නවකින්ම එම ගුරුවරියට නඩු පැවරිය හැකිය. එහෙත් මරගම පොලීසිය ගොරක දඩ මස් කරමින් සමාජයට වෛර කරන දරුවෙක් බිහිකිරීමට කටයුතු කර තිබේ.  

Exit mobile version