2012 වසරේ නොවැම්බර් 10 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
වාර්තා වන ආකාරයට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා විසින් ඉදිරිපත් කළ අභියාචනය මේ මස 08 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබුණි.
මෙම පෙත්සම අද (06) එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල නිවේදනය කළේ අදාළ අභියාචනා පෙත්සම මේ මස 8 වනදා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා බවයි.
තමන්ට එම මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවට තවදුරටත් වාර්තා වේ.