මව් ඇකයෙන් ගිලිහුණු දරුවාට සිදුවූ දේ.

මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී පොලීසියට හමුවූ පුවතක් කිතුල්ගල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මීගමුව ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථ දෙකකින් පවුල් දෙකක් කතරගම හරහා නුවරඑළියේ සංචාරයක නිරතව නැවත මීගමුව බලා යමින් සිටියදී ඉන් එක් ත්‍රිරෝද රථයක සිටි මවගේ අතේ සිටි බිළිඳෙකු කිතුල්ගල ගුරුමැටිය ප්‍රදේශයේදී මෙලෙස ලිස්සා ගොස් මාර්ගයට වැටී ඇති බවට පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී මවට නින්ද ගොස් සිටින්නට ඇති බවට පොලීසිය සැකපළ කරනු ලබයි.

ඊයේ රාත්‍රී 11.35ට පමණ මෙම සිදුවීම සිදු වී ඇති අතර එම මාර්ගයේම ත්‍රිරෝද රථයට පසුපසින් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයේ වැටී සිටි බිළිඳා ව දැක නැවත හරවාවිත් පරීක්ෂාවට ලක්කර තිබේ.

අනතුරුව එම මෝටර් රථයේ පුද්ගලයින් කුඩා බිළිඳාව කිතුල්ගල පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර අනතුරුව පොලීසිය විසින් කඩිනමින් බිළිඳාව කිතුල්ගල රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව දරුවා නොමැති බව දැනගත් ත්‍රිරෝද රථයේ ගමන්කළ පිරිස නැවත හරවාගොස් මාර්ගය සෝදිසි කරමින් ගමන්කරමින් සිටියදී දරුවා රෝහල්ගතකළ බව ඔවුන්ට දැනගන්නට ලැබී තිබේ.

අනතුරුව මව ඇතුළු පිරිස කිතුල්ගල රෝහලට ගොස් ඇති අතර දරුවාව කඩිනමින් මව සමගම කරවනැල්ල  රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවළදී අනාවරණය වී ඇත්තේ දරුවා නිරුපද්‍රිතව සිටින බවයි.

බිළිඳා මාර්ගයේ වැටී සිටිනු දැක එම අවස්ථාවේ කඩිනමින් පොලීසිය වෙත රැගෙන ගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි සූරියආරච්චිගේ රුවන් රංජිත් කුමාර නමැති පුද්ගලයෙකි.

ඔවුන් අද කිතුල්ගල පොලිස් ස්ථානය වෙත කැඳවීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බව සදහන්.

Exit mobile version