මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළියක්

ඉදිරි උත්සව සමයේ දී මහ ජනතාව කටයුතු කරන අකාරය අනුව කොවිඩ් අවදානම තවදුරටත් ඉහළ යා හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු ඇඟවීම් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ නිල වශයෙන් වාර්තා වන රෝගින් සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව හඳුනාගැනෙන බවයි.

ඔහු සඳහන් කරන්නේ කෙතරම් සෞඛ්‍ය උපදෙස් ලබා දුන්න ද කොපමණවාරයක් ඒවා නිසි ලෙස පිළිපදින ලෙසට ජනතාව දැනුවත් කළත් ඔවුන් නැවත නැවතත් හැසිරෙනු ලබන්නේ පසුගිය අප්‍රේල් සහ දෙසැම්බර් යන උත්සව මාසයන්හි ක්‍රියා කළ ආකාරයටම බවයි.

මෙසේ දිගින් දිගටම සිදු වුවහොත් එතුළින් රට තුළ නැවතත් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

එමෙන්ම උත්සව සමය හේතුවෙන් වැඩි වශයෙන් වෙළඳසැල් වටා නගර පුරා ජනතාව එක්රැස් වන අයුරක් පෙනී යන අතර සෞඛ්‍ය නීති කඩකරමින් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට මෙන් ම සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් එවැනි ස්ථානවලට එක්රැස්වන පිරිසට ද එරෙහිව ඉදිරියේ දැඩි නීති ක්‍රියාත්මක කරන බව ද උපුල් රෝහණ මහතා මෙහි දී ප්‍රකාශ කර ඇත.

පොදු ප්‍රවාහන සේවය තුළ දී පවා බහුල වශයෙන් සෞඛ්‍ය නීති උල්ලංඝනය වන අතර මහජනතාවට මේ වන විට කොවිඩ් වසංගතයක් රට තුළ තිබේදැයි ද අමතක වී ඇති බව ද සඳහන් කරයි.

Exit mobile version