මාතර බන්ධනාගාරයට මත්පැන් විසි කළ අයෙක් අත්අඩංගුවට .

මාතර බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය විසිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසූ බව වාර්තා වේ.


යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මාර්ගයේ සිට බන්ධනාගාරය තුළට යම් පාර්සලයක් විසිකළ ආකාරය දැක ඇති රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයේ නිලධාරියෙකු එක් පුද්ගලයෙක් භාරයට ගත් බවත් බන්ධනාගාරය තුළට විසිකළ පාර්සලයේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට්, සිම්පතක්, ලයිටර් සහ ජංගම දුරකථන බැටරි දෙක බැගින් සහ දුම්කොළ 10 ක් සොයාගත් බවත් ඒ මහතා පවසා තිබේ.


අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ තහනම් ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සඳහා මාතර මූලස්ථාන පොලිසියට භාරදුන් බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් පවසා තිබේ.

Exit mobile version