පවතින මහජන පීඩාවන්ට හා විදුලි බිළ ඉහළ දැමීමට එරෙහිව විරෝධය දක්වා ජාතික ජන බලවේගය විසින් නාවලපිටිය ආසනයේ කුරුදුවත්ත නගරයේ පැවැත්වූ පන්දම් විරෝධතා උද්ඝෝෂණයට හා එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදින්ට බීමත්ව සිටි මැර පිරිසක් පහරදී බාධා කිරීම පිළිබඳව ඔවුන් කුරුදුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .
7 වන දින රාත්‍රියේ ගම්පොළ පොලිස් කොට්ඨාසයට අයත් කුරුදුවත්ත නගරයේදී මෙය සිදුවිය.
මෙම පන්දම් විරෝධය කුරුදුවත්ත නගරයේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පැවැත්වූ අතර ඊට පිටුපසින් සිටි මෙම මැර පිරිස හූ කියමින් තර්ජනය කරමින් පරුෂ වචන පවසමින් එම ස්ථානයට ජල ප්‍රහාර එල්ල කරන ලදි.
මෙහිදී මෙම පිරිස මාධ්‍යවේදින්ට පවසා සිටියේ මෙය වීඩියෝ නොකරන ලෙසයි.පසුව එම පිරිස මාධ්‍යවේදීන්ගේ කැමරාවලටද පහර දුන් අතර ඇතිවූ කලබලය සමග කුරුදුවත්ත පොලිසිය එයට මැදිහත් වී තත්වය පාලනය කරන ලදි.
විරෝධතාවයට පහරදී බාධා කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පිරිස් විසින් කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර ඇති අතර කැමරාවට හා මුහුණට පහරදීමක් පිළිබඳව මාධ්‍යවේදින් ද මෙහිදී පැමිණිල්ලක් සිදු කර ඇත.
මෙහිදී ජාතික ජනබලවේගයේ පිරිස් පවසා සිටියේ මෙම විරෝධතාවට ගල් ප්‍රහාර එල්ල කිරීමට තිබූ සූදානම පිළිබඳව කලින්ම දැන ඒ බව පොලිසියට දැනුම් දීම මත පොලිසිය එම ගල් ඉවත් කළ බවයි.
මෙම පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා නීතිඥ තුෂාරි ජයසිංහ හා නීතිඥ ඇතුගල යන දෙදෙනාද පොලිසිය වෙත පැමිණ සිටි අතර නිවෙස් බලා යන පිරිසට හා මාධ්‍යවේදින්ට ආරක්ෂාව සදහා කුරුදුවත්ත නගරයේ සිට ගම්පොළ බලා යන මාධ්‍යවේදින් සමග නීතිඥ ඇතුගල මහතා ඇතුලු පිරිසක් ද නාවලපිටිය දෙසට ගිය පිරිස සමග නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මියද ගමන් කළේය.
පොහොට්ටුවේ මෙම පිරිස පොලිතින් බෑග් වලට වතුර පුරවා මෙම ජල ප්‍රහාර එල්ල කළ අතර එසේ සූදානම් කර තිබූ තවත් විශාල ජල ප්‍රමාණයක් පොලිස් භාරයට ගනු ලැබ තිබේ.
විරෝධතාවය තිබූ ස්ථානයේ මෙම පිරිස සවස සිටම රැදී සිටිමින් තර්ජනය කිරීම හා බැන වදිමින් සිටියද පොලිසිය ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර නොගැනීම පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගය විසින් කුරුදුවත්ත පොලිසිය වෙත චෝදනා එල්ල කරනු ලැබීය.
(සරත් සමරනායක )