මාධ්‍ය සහ පොලිසිය යාලුයි. ජනාධිපති පොලිසියේ මෙන්ම සියලුම දෙනාගේ ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියා  අනුමත නොකරයි – 156 වන පොලිස් දින සැමරුමේදී ජනාධිපති පොලිස් නිලධාරීන් අමතයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ඊයේ (03) වැදගත් දිනයක් විය. ඒ ඊයේට පොලිස් දෙපාර්තමේන්තුවට අවුරුදු 156 ක් සම්පූර්ණව තිබීමයි. ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරගැනීම සදහා ඔවුන් වීඩියෝ කිහිපයක්ම මාධ්‍යට මුදා හැර තිබුණි.

https://www.youtube.com/watch?v=apSGgK0YNaM
පොලිස් දින සැමරුම වෙනුවෙන් පොලිස් සතියක් ක්‍රියාත්මක කිරීම . ඔවුන් සමාජය වෙනුවෙන් සිදුකරන ලැබූ මෙහෙවරයන්

රනිල් වික්‍රමසිංහ මහතා තම කතාවේදී පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකි බව අවධාරණය කරමින් එම ආයතන දෙක ආරක්ෂා කරමින් ඉදිරියට යා යුතු බව එහිදී ප්‍රකාශ කරන ලදී. එසේම ආර්ථික වශයෙන් රට ගොඩනැගීමේ වැඩ පිළිවෙල සාර්ථක කරගැනීම සදහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කල යුතු බවද සදහන් කරන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව

ඒ අනුව ඔහු සෘජුවම නොකීවත් “ රට ගොඩනැගීමේ වැඩ පිළිවෙල සාර්ථක කරගැනීමට නම් නීතියේ ආධිපත්‍ය තහවුරු විය යුතුයි” යන ප්‍රකාශයෙන් හැගවෙන්නේ  නීතියේ ආධිපත්‍ය රට තුල ස්ථාපනය වී නොමැති බව පිලිබදව ලබා දුන් ඉඟියක් බව පැහැදිලිවම හදුනා ගත හැක්කේ මාධ්‍යවේදීන්ට පොලිසිය විසින් පහර දීම පිලිබඳව කල ප්‍රකාශය නිසාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කලේ “අද මට අලංකාර ආචාර පෙළපාලියක් නරඹන්න අවස්ථාව ලැබුණා. ඇත්ත වශයෙන්ම මම සම්පූර්ණ පෙළපාළිය දුටුවේ නැහැ. දකුණු පැත්තේ තිබූ පෙළපාළියත්, වම් පැත්තේ තිබූ පෙළපාළියත් දුටුවා, මැද මම දුටුවේ මාධ්‍යයේ ඡායාරූප ශිල්පීන් පමණයි. කෙසේ හෝ ඇතැම් මාධ්‍ය කොපමණ පොලිසියට චෝදනා කළ ත්, තමන්ගේ ඡායාරූපකරුවන්ට පහර දුන් බව කිව්වත් මට නම් මෙතන පෙනෙන්න තිබෙන්නේ ඒ කණ්ඩායම් දෙක අතර හොඳ මිත්‍රත්වයක් තිබෙන බව යි”, යනුවෙනි. එහිදී මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකල ක්‍රියාකාරකම් මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ සමහර නිලධාරීන්ගේ නීතිවිරෝදී ක්‍රියාකාරකම් පැහැදිලිවම හදුනාගෙන තිබෙන දක්නට ලැබිණි. එහිදී ජනාධිපතිවරයා තම කතාව සිදුකරන්නේ දැඩි “ මධ්‍යස්ත පිළිවෙතක්” අනුගමනය කරමින් නොහොත් තමන්ගේ කළමනාකරණය පිලිබදව තිබෙන දැනුම සහ හැකියාව සමබර කරමින් බව දැකීමට හැකි විය. එම කතාව දැඩි ගැබුරු කතාවක් වන අතර එම අන්තර්ගතය තුල “ වැරදි වැඩ කල පොලිස් නිලධාරින්ටද” නිසි වෙලාවේදී දඩුවම් ලැබෙන බවට දෙන ඉඟියක්ද ලෙසද ගත හැකිය. කෙසේ නමුත් එම කතාවට අනුව නොකියා කියන කතා විශාල ප්‍රමාණයක් ඇතුලත්ව තිබෙන බව මේ ලියුම්කරුට දක්නට ලැබුණි.

වරද පොලිසියේද නැතිනම් ජනතාවගේද?. තීරණය නීතිය දන්නා වැසියන්ට බාරයි

එහිදී ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය පහතින් දැක්වේ. එම ප්‍රකාශය අතරතුර ශ්‍රී ලංකා පොලිසියේ නීතිවිරෝදී ක්‍රියාකාරකම් සමග ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රියාවන්ද අඩංගු වීඩියෝ කිහිපයක ඔබට නැරබිය හැකිය.

ජනාධිපතිගේ ප්‍රකාශය – :

“අද මට අලංකාර ආචාර පෙළපාලියක් නරඹන්න අවස්ථාව ලැබුණා. ඇත්ත වශයෙන් මම සම්පූර්ණ පෙළපාළිය දුටුවේ නැහැ. දකුණු පැත්තේ තිබූ පෙළපාළියත්, වම් පැත්තේ තිබූ පෙළපාළියත් දුටුවා, මැද මම දුටුවේ මාධ්‍යයේ ඡායාරූප ශිල්පීන් පමණයි. කෙසේ හෝ ඇතැම් මාධ්‍ය කොපමණ පොලිසියට චෝදනා කළ ත්, තමන්ගේ ඡායාරූපකරුවන්ට පහර දුන් බව කිව්වත් මට නම් මෙතන පෙනෙන්න තිබෙන්නේ ඒ කණ්ඩායම් දෙක අතර හොඳ මිත්‍රත්වයක් තිබෙන බව යි.

මාධ්‍යවේදීන් 7 දෙනෙකුට පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය පහරදුන් අයුරු

අදට යෙදී ඇති පොලිස් දිනයේදී කරන ක්‍රියාකාරකම් හා පොලිසිය කරන සේවාවන්වලින් අපට වටහා ගත හැකියි පොලිසිය ආරම්භ කළ කාලයට වඩා වෙනස් කාලයක් අද තිබෙන බව. ඊට වඩා සංකීර්ණ ප්‍රශ්න තිබෙන බව. ඒ සංකීර්ණ ප්‍රශ්නවලට මුහුණ දෙන්න, එම ගැටලු විසඳන්න තමයි අද පොලිසිය සංවිධානය කර තිබෙන්නේ. ඒ නිසා මේ පොලිසියේ කාර්යක්ෂමතාව පවත්වාගෙන යාමට ක්‍රියාකරන පොලිස්පතිතුමා ඇතුළු පොලිසියේ නිලධාරීන් සියලු දෙනාට මම මගේ ප්‍රශංසාව පිරිනමනවා. එම වැඩකටයුතු කරන්න පොලිසියට සම්පූර්ණ සහයෝගය, මග පෙන්වීම ලබා දෙන ඇමතිතුමාටත් මම ප්‍රශංසා කරනවා.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් දියේ ගිලුණු මවක් බේරාගැනීමට දරන උත්සාහය – ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව

පොලිසිය මේ රාජ්‍ය යාන්ත්‍රණයේ වැදගත් ආයතනයක්. විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය හදන්නේ මහ ජනතාව තෝරාපත් කරගත් නියෝජිතයන්. එය ක්‍රියාත්මක කරන විධායකයේ ඉන්නේ පාර්ලිමේන්තුව තෝරාපත් කරගත් නියෝජිතයන්, සමහර අවස්ථාවල ජනතාව තෝරාගත් විධායක ප්‍රධානින්. එහෙම නම් නීතිය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවෙන්, නීතිය හදන්නේ පාර්ලිමේන්තුවෙන්. එය ක්‍රියාත්මක කරන්න තිබෙන්නේ විධායකයට. කැබිනට් මණ්ඩලයට. ඒ නීතිය උල්ලංඝණය කරනවා නම් පාර්ලිමේන්තුවත්, කැබිනට් මණ්ඩලයත් ක්‍රියාත්මක වන්නේ නෑ. නීතියේ ආධිපත්‍ය කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන්නේ එයයි. අපි නීතියට ගරු කරලා නීතිය අනුව ක්‍රියා කළ යුතුයි. නීතිය උල්ලංඝණය කරන විට නීතියේ ආධිපත්‍ය කැඩෙනවා. නීතියේ ආධිපත්‍ය කඩනව නම් ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ වෙනවා.

ලහිරු වීරසේකර අත් අඩංගුවට ගැනීමට පැමිණි පොලිසියට ජනතාවගෙන් දැඩි විරෝධතා එල්ල වූ හැටි

නීතිය උල්ලංඝණය කළ විට ඒ පිළිබඳ ක්‍රියා කරන්න ආයතන දෙකක් තිබෙනවා. පළමුවෙන් ම ඒ ගැන සොයා බලා එයට වගකිව යුත්තේ කවුද කියලා හඳුනගෙන ඒ අයට විරුද්ධව නඩු දාන්න, අවශ්‍ය නම් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම පොලිසියේ කටයුත්තක්. ඒ පුද්ගලික නීති කැඩීම නෙවේ, පොදු නීතිය උල්ලංඝණය කරන අවස්ථාවලදී. ඉන් පසුව එම පුද්ගලයන් නීතිය කැඩුව ද නැද්ද කියලා තීරණය කරන එක ස්වාධීන අධිකරණයකින් කෙරෙන්නේ. ඉතින් මේ ආයතන දෙක නැතිව රටක් ක්‍රියාත්මක කළ නොහැකියි. පොලිසියක් නැත්නම් නීතියේ ආධිපත්‍යයක් නැහැ. ඒ වගේ ම ස්වාධීන අධිකරණයක් නැතිනම් නීතියේ ආධිපත්‍ය නැහැ. ඉතින් මේ ආයතන දෙක ආරක්ෂා කිරීමට තමයි අපි කැපවී සිටින්නේ.

අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ට පහර දුන් පොලිසිය

මේ නීතිවලින් වැදගත් ම නීතිය තමයි රටේ මූලික නීතිය. ව්‍යවස්ථාවට අනුකූලව අපි වැඩ කළ යුතුයි. ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කළේ නැත්නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. එහිදී අධිකරණය පමණක් නොව පාර්ලිමේන්තුවේ බලතල උල්ලංඝණය කළා නම් කතානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවත් ඒ ගැන ක්‍රියා කළ යුතු වෙනවා.

නිවැරදි තරුණයෙකු අත් අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්

පොලිසිය ව්‍යවස්ථාවත්, නීතියත් ආරක්ෂා කරන්න ක්‍රියා කරනවා. අප මතක තබා ගත යුතුයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමට නම් රටේ ව්‍යවස්ථාව ආරක්ෂා විය යුතුයි. ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනතාව තෝරා පත්කරගත් පාර්ලිමේන්තුවකින් අගමැතිවරයාත්, ඇමතිවරුත් තෝර ගන්න. කැබිනට් මණ්ඩලය කියන්නේ එයයි. ඒ අය තමයි මේ රටේ නීතිය ප්‍රකාශ කර රට ගෙනියන්නේ. ඒ අයට ක්‍රියාකරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙනවා නම් පමණයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරීම සදහා කොළඹට පැමිණි ලක්ෂ ගනනක් වන වැසියන්

කවුරු හරි උත්සාහ කරනවනම් පාර්ලිමේන්තුව නැතිව පිටින් අගමැතිවරයා ඉවත් කරන්න, කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න, එසේ නම් එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වෙනවා. ඒක වීර ක්‍රියාවක් බව කිව නොහැකියි. එවැනි අවස්ථාවකට තමයි අපිට මුහුණ දීමට සිදු වුණේ. මේ රටේ තරුණයෝ එකතු වෙලා ආණ්ඩුවකට විරුද්ධව අරගලයක් කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ අය සාමකාමීවයි ක්‍රියා කළේ. ඒ අයගේ දක්ෂකම් එක එක අංශවලින් පෙන්නුවා. ඒ ගැන කාටවත් ප්‍රශ්න කරන්න බැහැ. ඒ අය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව උද්ඝෝෂණය ගෙන ගියා. අවාසනාවකට මේ කණ්ඩායම ඉවත් කර ප්‍රචණ්ඩකාරීන් විසින් පසුගිය ජූනි මාසයේ දී මේ ව්‍යාපාරය අල්ලා ගත්තා. එවැනි ව්‍යාපාරයක් දීර්ඝකාලිව ගෙන යා නොහැකියි. ඒ තරුණ අරගලකරුවන් වෙනුවට ලංකාවේ එක එක පැතිවලින් කණ්ඩායම් ගෙනල්ලා එදා ආණ්ඩුව අඩපණ කරලා, නැති කරන්න කටයුතු කළා.

ගාල්ලේදී පොලිසියට විරුද්දව නීතිඥවරුන් පොලිසියට නීතිය කියා දුන් අවස්තාවක්

ජනාධිපති මන්දිරයත්, ජනාධිපති කාර්යාලයත් අල්ලා ගත්තා. එවිට ජනාධිපතිවරයෙකුට ක්‍රියා කළ නොහැකියි. ඊට පසුව අගමැති නිල නිවස අල්ලා ගත්තා. ඊට පසුව මගේ පුද්ගලික නිවසට ගිනි තැබුවා. මට ඉල්ලා අස්වෙන්න කිව්වා. මම ඉල්ලා අස්වුණේ නැහැ. ඒ වන විට ආණ්ඩුව ගෙනියන්න අපිට අමාරු වුණා. නැවත අගමැති කාර්යාලය අත්පත් කරගත්තා. එහෙම නම් එවැනි පසුබිමක විධායකයට ක්‍රියාත්මක විය නොහැකියි. විධායකය අඩපණ වී තිබුණේ. එදා මම ක්‍රියා කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස

නිරපරාදේ තරුණයෙකුට පහර දුන් මහරගම පොලිස් නිලධාරියෙක්

ඉන් පසුව පාර්ලිමේන්තුවත් වට කළා. පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙනවා. එසේ නම්, මෙය නීතියේ ආධිපත්‍ය උල්ලංඝණය කිරීමක් පමණක් නොව ව්‍යවස්ථාවත් උල්ළංඝනණ කිරීමක්. ජනතාවගේ සර්වජන ඡන්ද බලය නැති කිරීමක්. මොකද ඕනෑ ම ව්‍යවස්ථාවක පාර්ලිමේන්තුවක් පත් කර ගත් විට යම් කාල සීමාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හොද නම් ඒ මන්ත්‍රීවරු නැවත පත් කරනවා. නැත්නම් ඒ අය පිට කරනවා.

පොලිසිය පලිගන්න විදිය කියන පොලිස් නිලධාරියා

ඉතින් මේ සියල්ල අඩපණ කර මේවා නැති කරන්න ක්‍රියා කළා. පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් අද මේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. කවුද රට පාලනය කරන්නේ කියලා අපි දන්නේ නැහැ. එවැනි බැරෑරුම් තත්ත්වයකටයි ආවේ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ මේ යුද්ධ හමුදාව සහ පොලිසිය නිසා. සමහරු කියනවා මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියලා. සමහරු කියනවා ඒ අය මර්දනය කළා කියලා. එදා රටේ නීතියක් තිබුණ ද, සාමයක් තිබුණ ද, ගෙවල්වලට පැනලා බඩු අරගෙන යනව ද, විශාල බයක් රටේ තිබුණා. දැන් මේකට සුදු හුණු ගාන්න වැඩක් නැහැ. පොලිසියේ පරීක්ෂණවලින් ඒ කරුණු දැන ගත හැකියි. ඊට පසුව පාර්ලිමේන්තුවටත් මේ ගැන සොයා බලන්න සිදු වේවි.

පොලිසිය එල්කළ දුළු ගෑස් ප්‍රහාරයෙන් දරුවෙකු බේරාගත් පොලිස් නිලධාරීන්

අපේ යුතුකම මේ අවස්ථාවේ දී මේ ප්‍රජාතන්ත්‍රවදය ඉදිරියට ගෙන යාම. මේ සාමකාමී අරගලකරුවන් ඉල්ලුවේ සමාජයේ වෙනස්කම් ඇති කිරීම. මොකද අනාගතය අයිති ඒ අයට, අපිට නෙවේ, එහෙම නම් ඒ අයට ඇහුම්කන් දී අපි ඉදිරියට යා යුතුයි. අපිට තිබෙන්නේ මේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒම. එය කරන්න නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය අවශ්‍යයයි. මෙය ආරක්ෂා කරන්න අපේ පොලීසිය සහ ආරක්ෂක හමුදාව පියවර ගත්තා. මේ අය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ මූලික ආයතනය ආරක්ෂා කළේ.

ඒ සඳහා කැපවූ පොලිස් නිලධාරීන්ට අපි විශේෂයෙන් අපේ ප්‍රණාමය පළ කළ යුතුයි. අද සංකේතාත්මකව සහතික ලබා දුන්නේ ඔවුන්ටයි. අපි සියලු දෙනා එකට එකතු වෙමු. මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු. මම හිතන්නේ නැහැ මෙතන ඉන්න මාධ්‍යවේදීන්ගෙන් කවුරුන් හෝ කැමති වෙයි කියා, තමන්ගේ මාධ්‍ය ආයතනයට පැමිණ තමන්ට තර්ජනය කර, ඒ අයට ඕන දේ දාන්න කියනවට. එයත් එදා සිදු වුණා.

මේ නිලධාරීන් කළ කැපකිරීම නිසා අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණා. අපි මතක තබාගත යුතුයි දේශපාලනඥයින් ලෙස අපෙනුත් වැරදි සිදු වී තිබෙනවා. සියලු දෙනා එකතු වී අලුත් ගමනක් එළැඹෙන නිදහස් දිනයේ ආරම්භ කරමු.” ලෙස ඔහු සදහන් කරන ලදී.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීමෙන් පසු

එම ප්‍රකාශය තුලද ඉතාම පැහැදිලිවම සදහන් වන්නේ පොලිසිය නීතියට අනුව කරන ලද ක්‍රියාකාරකම් මෙන්ම රට සුරැකීම සඳහා කරන ලද ක්‍රියාකාරකම් වලට ඔහු අනුමත කලත් ඉන් පරිභාහිරව සිදුකරන ලද කටයුතුවලට ඔහුද එකඟ නොවන බව නොහොත් නීතිවිරෝදී කටයුතු වලට ඔහුද විරුද්ද බවයි. කෙසේ නමුත් එම සිදුවීම් පිලිබදව “සුදුහුණු ගෑමෙන් පලක් නැත”, යන ප්‍රකාශයේද සඳහන් වන්නේ සහ “පොලිස් පරීක්ෂණ වලින් පසුව පාර්ලිමේන්තුව මගින්ද ඒ පිලිබඳව සොයාබැලීමක් කල හැකිය”, යන ප්‍රකාශයෙන් කියවෙන අනාගතය ගැන අප යමක් සටහන් නොකරමු. නමුත් එයින් කියවෙන්නේ පොලිසිය තම පරීක්ෂණ කටයුතු නිසි ලෙස ඉටු නොකළ හොත් පාරිලිමේන්තු පරීක්ෂණයකදී ඔවුන්ට ගැලවීමට නොහැකි බවයි.

ශ්‍රී ලංකා පොලිසියට සුබපැතුම් එකතු කරමින් අප මෙසේද සටහන් තබන්නේ ශ්‍රී ලංකා පොලිසිය යනු වැරදි කර පොලිස් නිලධාරීන්ගේ බූදලයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසූ නිලධාරීන් කිහිපදෙනෙකුගේ දූෂිත ක්‍රියාකාරකම් නිසා ඉතාම හොඳ පොලිස් නිලධාරින්ද අමාරුවේ වැටීමට නියමිතව තිබෙන බවට ඉඟි පහල වෙමින් තිබේ. එබැවින් තව දුරටත් මිනිසුන් ලවා අරගල කරවන්නේ නැතිව, යහපත් ලෙස තම පොලිස් සේවය කරමින් එම ආයතනය සුරැකීමට කටයුතු කිරීම දැන්වත් සිදුකල යුතුය.       

Exit mobile version