මානව අවශ්‍යතා සපුරන අතර පෘථිවියේ සෞඛ්‍ය පවත්වාගැනීමට ගෝලීය ප්‍රජාවගේ ප්‍රමුඛත්වය හිමිවිය යුතුයි – ජනපති

ඊයේ (24) නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ බලශක්ති පිළිබඳ රාජ්‍ය නායක සංවාදය ආරම්භ කර ඇති අතර මෙවර එහි තේමාව වී ඇත්තේ “සෑම කෙනෙකුටම දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබාගැනීමට ඇති හැකියාව සහතික කිරීම” යන්නයි.

එහි දී ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ පෘථිවියේ සෞඛ්‍ය සහතික කිරීම උදෙසා හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම සහ තිරසර  බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය බවයි.

විශේෂයෙන් ම පවසා ඇත්තේ මානව අවශ්‍යතා සපුරනවා සේම පෘථිවියේ සෞඛ්‍ය පවත්වාගෙන යාම පිළිබඳව ද ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවය හිමිවිය යුතු බව පිළිබඳවයි.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් තුළින් සිදුවන පරිසර විනාශය නිසා දේශගුණික වශයෙන් සිදුවන විවිධ විපර්යාසයන් හේතුවෙන් ද පෘථිවියට එල්ලවන තර්ජනය තවදුරටත් නොසලකා හැරිය නොහැකි බවත්, මෙම තර්ජනය ඉදිරි දශක කිහිපය තුළ දී හෝ අවම කරගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමු වීම අත්‍යවශ්‍ය බවත් ය.

එහි දී ජනාධිපතිවරයා, ශ්‍රි ලංකාව තිරසර බලශක්ති සංවර්ධනට අඛන්ඩව කැපවී සිටින අතර 2030 වර්ෂය වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක ප්‍රමාණයක් පුණර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට අරමුණු කරන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන් ම,පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකුලව ඉවත් වී කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ ඒ තුළින්  වර්ෂ 2050 වනවිට ශ්‍රී ලංකාව කාබන්වලින් තොර රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම්සහගතව කටයුතු කරන බවත් සඳහන් කර ඇත.

Exit mobile version