මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ විමර්ශන කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපති අතට

මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනය සඳහා පත්කරන ලද කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපති වෙත භාරදි ඇත.

ඊයේ (18) පස්වරුවේ කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්.එම්.ඩී.නවාස් මහතා විසින් ජනාධිපති කාර්යා‌ලයේ දී අදාළ වාර්තාව ජනාධිපති වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ.එම්.එම්.ඩී.නවාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසම ජනාධිපති විසින් පත්කරන ලද්දේ මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂිය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කර ගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ය.

මෙම දෙවන වාර්තාව පිටු 107 කින් යුක්ත වන බවත් එය සැකසීමේ දී යුද්ධයට මුහුණ දුන් සහ ඒ ආශ්‍රිත අත්දැකීම් සහිත යාපනයේ සහ කිලිනොච්චිය යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් 75 දෙනෙකුගෙන් ලබා ගන්නා ලද  සාක්ෂි මත පදනම්ව කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බව  ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් වාර්තා කරන ලදී.

එමෙන්ම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්.එම්.ඩී.නවාස් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම කොමිසමේ අවසන් වාර්තාව එළඹෙන ජුනි මස දී ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවය.

Exit mobile version