චරිතය හා මුලික වටිනාකම්වලට මුලිකත්වය ලබා දෙන පොලිසියක් නිර්මාණය කිරීමෙන් සහ එයට අදාළ ලෙස සියල්ලම සැකසීම තුලින් ශක්තිමත් පොලිස් දෙපාර්තමේන්තුවක් මෙන්ම රටකට ශක්තිමත් ප්‍රජාවක්ද බිහි වෙයි. එවැනි පොලිස් දෙපාර්තමේන්තුවක් බිහි කිරීම සදහා එම දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන්ගෙන් සාන්ද්‍රගත උත්සාහයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තෙම්න්තුවට එවැනි උත්සාහයක් තිබී නැති බවත්, එම හේතුවෙන් මාස 20 ක් තුලදී පොලිස් අත් අඩංගුවේ සිටියදී මිනිසුන් 24 දෙනෙකු ඝාතනය වී තිබෙන බවත් අනාවරණ කරන ලද්දේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ කොමසාරිස්වරයෙක් වන නීතීඥ නිමල් ජී. පුචිහේවා අනාවරණය කළේය.
නීතිය බලාත්මක කිරීමේ වගකීම් සඳහා පොලිසියට ඔවුන්ගේ සංවිධානවල සහ ප්‍රජාවන්හි නායකත්ව තනතුරු ලබා දී තිබේ. පුරවැසියන්ගේ අපේක්ෂාවන්ට ප්‍රතිචාර වශයෙන්, මෙම කාර්ය භාරයන් ඵලදායි ලෙස ඉටු කිරීමට නිලධාරීන් සූදානම් වීමට එහිදී උත්සාහ කරන නමුත් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගෙන් අති බහුතරයක් ක්‍රියාත්මක වන්නේ නීතියට පටහැනි ලෙසය. පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන්ගේ නීතිවිරෝදී හැසිරීම් පිලිබදව පොත් සිය ගණනාවක් ලිවිය හැකිය. කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුවේ වර්තමාන විනාශයට වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවා වග කිව යුතු අතර එම වටිනා ආයතනය යතා තත්වයට ගැනීම සදහා කලයුතු වැඩ පිළිවෙලවල් කිසිවක් ක්‍රියාත්මක වන බවක්ද දක්නට නැත.
නීතිඥ නිමල් ජී. පුචිහේවා මහතාගේ සම්පුර්ණ කතාව පහත දැක්වෙන අන්තර්ජාතික මානව හිමිකම් දිනය වෙනුවෙන් පසුගියදා සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් මෙම ප්‍රකාශය කර තිබේ. (උපුටා ගැනීම සිලෝන්වයර්)
“රටක නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණාම ඊට පස්සේ ඒ රටේ පවතින්න බැහැ සාමකාමී, නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක්. දැන් මේකත් එක්ක සමහර වෙලාවට රටේ තියෙන නීතියේ ප්‍රමාදය සාධාරණව මේක ක්‍රියාත්මක නොවීම නිසා සමහර කොටස් අතර මේක ජනප්‍රිය වෙන්න පුළුවන්, අධිකරණ ක්‍රියාවලින් තොර ඝාතන. නමුත් එය කෙටිකාලීනයි. දීර්ඝකාලීනව මොකද්ද සිද්ධ වෙන්නෙ? මේකත් හරියට අර ක්ෂණික ආහාර වගේ. ක්ෂණික ආහාර කනකොට දිව පිනවනවා. පසුව මුළු ශරීරයම රෝගී වෙනවා. ඒ වගේම මේ වගේ ක්‍රියාකාරීත්වයකින් මුළු ප්‍රජාතන්ත්‍ර දේහයටම අවසානයේ රෝගී වෙනවා, නීතියේ
ආධිපත්‍යය බිඳ වැටීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා මේවා පිළිබඳව, ගරුත්වය පිළිබඳ අප සියලුදෙනාගේ තියෙන මූළික අයිතීන් රාශියක් තියෙනවා.
දැන් අපි බැලුවම මේ අපිට ආපු පැමිණිලිත් එක්ක පහුගිය 2022 ජනවාරි ඉඳලා 2023 අගෝස්තු 31 දක්වා අධිකරණ ක්‍රියාවලියෙන් තොර ඝාතන 24ක් වාර්තා වෙලා තියෙනවා. ඒවගේම යම් ගැටුමකදී වෙන ඝාතන හැටියට පොලිස් ක්‍රියා හා වෙනත් රාජ්‍ය නිලධාරීන් අතර වන ගැටුම් 13ක් වාර්තා වෙලා තිබෙනවා. එතකොට මේවා බැලුවාම, ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියල බැලුවාම, ප්‍රධාන කාරණා හතරක් හඳුනගන්න පුළුවන්. එකක් තමයි, යම් ආයුධ වගේ දේවල් සොයන්න ගිහිල්ලා කරන ඝාතන. තව විදියක් තමයි අපිට පේන්න තියෙන්නෙ මේක තුළ මත්ද්‍රව්‍ය සොයාගැනීමට කරන ඝාතන. ඊළඟට වද හිංසා පමුණුවල කරන ඝාතනත් වාර්තා වෙනවා. රඳවාගෙන ඉන්න අයගේ අනවධානය හා නොසැළකිල්ල නිසාත් වාර්තා වන ඝාතන තියෙනවා, මේ 24 තුළ.
දැන් මේ සම්බන්ධයෙන් ගත්තාම දැන් රඳවාගෙන ඉන්න කෙනෙක් යමක් සොයන්න ගෙනයන විට මේ සම්බන්ධයෙන් අපේ රටේ අපි අවධානය යොමුකරලා තියෙනවා, දේශීය නීති තත්ත්වය. දේශීය නීති තත්ත්වය කිව්වාම මේ සම්බන්ධයෙන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනවා, අපරාධ නඩු විධාන සංග්‍රහය තියෙනවා, දණ්ඩ නිති සංග්‍රහය තියෙනවා, සාක්ෂි ආඥා පනත තියෙනවා, පොලිස් ආඥා පනත තියෙනවා, පොලිස් නියෝග තියෙනවා, පොලිස්පතිතුමා විසින් නිකුත් කරපු චක්‍රලේඛන තියෙනවා.
මේවායේ පැහැදිලිවම අපි මේ පාදක කරගත් මාර්ගෝපදේශ එකක්වත් කොමිෂන් සභාව අලුතින් එකතු කරලා නැහැ. ඒවා අපේ මේ තියෙන නීතියම වඩාත් හොඳින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ යුත්තේ කුමන විදියටද යන්න ඒකෙ සඳහන් කරලා තියෙනවා. දැන් අපේ නීතිය බැලුවාම, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය තියෙනවා, නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන ය. ඒකෙදි කියල නැහැ අපරාධකාරයෙකුට වෙනස් විදියට සලකන්න පුළුවන් කියලා. අපරාධකරුවෙක් නම් ඔහු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ වෙනත් නීතිවල තියෙනව විවිධාකාරයෙන්. නමුත් ඒ නීතිය ක්‍රියාත්මක වන ආකාරය, කාටත් නීතිය සාධාරණ වෙන්න ඕන. ඒ නිසා තමයි 89 කාලයේ දී දරුණු ගණයේ අපරාධකාරයෙකුට වුණත්, ත්‍රස්තවාදියෙකුට වුණත් නීතියේ රැකවරණය සමානයි, එය ලැබිය යුතුයි, වද හිංසාවලින් මිදී සිටීමට අයිතිය තිබෙනවා කියලා ඔය අමල් සුදත් සිල්වා එදිරිව කොඩිතුවක්කු කියන නඩු තීරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.
ඊළඟට අපේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මුලදී අපේ නීති තත්ත්වයේ තිබුණෙ නැහැ අත්අඩංගුවට ගැනීම් වදහිංසාව සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ හැකියාව මූළික අයිතියක් හැටියට තිබුණත් මරණයට පත්වුණයින් පස්සේ ඒක තිබුණෙ නැහැ ඒක මූලික අයිතිවාසිකම් යටතේ සළකා බලන්න පුළුවන් කියලා. මේකෙදි ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ කියන නඩුවෙදි ඒ පයාගල පොලිසිය විසින් යම්කිසි කෙනෙක් සොරකමට අත්අඩංගුවට අරගෙන, හමුදාවෙන් පැනලා ගියපු කෙනෙක්, හමුදාවට භාරනොදී යම් පහරදීම් සිදුකරලා ඉන් පසුව ඔහු රෝහල්ගත කරා, මිය ගියා. මේ සිද්ධිය ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(4) යටතේ පැහැදිලිවම අධිකරණ ක්‍රියාවලියෙන් තොර ඝාතන තහනම් හා ඒක මූලික අයිතියක් හැටියට තියෙන බව. ඒ නිසා ඒක එක පැත්තකින් මූලික අයිතියක් කඩ වෙනවා කියලා තමයි තීන්දු කළේ. ඒ වගේම අපේ 13(3) තියෙන්නේ මොකක්ද? සාධාරණ නඩු විභාගයක්. එතකොට හැම සැකකරුවකටම, ඔහු සැකකරුවෙක්.
ඒ වගේම 13(5) කියනවා අධිකරණ ක්‍රියාවකින් ස්ථාවර තීන්දුවක් ගන්නතුරු ඔහු නිර්දෝෂි පුද්ගලයකු හැටියට සැළකෙන බව. එතකොට සාධාරණ නඩුව විභාගයක් නැතුව අධිකරණ ක්‍රියාවලියකින් තොරව ඝාතනයට ලක්වෙනව නම් එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල විදියට උල්ලංඝනය වීමක් වෙනවා. ඉතිං ඒ විතරක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ ප්‍රතිපාදන දාන්නෙ ඇයි? එතකොට මේ ප්‍රතිපාදනවලට අමතරව පොලිස් ආඥා පනත තියෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයෙ තියෙනවා විධිවිධාන, පොලිස් නියෝගවල පැහැදිලිවම තියෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවකුට කොහොමද ආරක්ෂාව ලබාදෙන්නෙ කියලා. ඒ වගේ මේ නියෝගවල තියෙනවා බාහිරයට ගෙන යනවනම් කොහොමද ඔහුව ආරක්ෂිතව ගෙන යන්නෙ කියලා. එතකොට මේ වගේ නීතිමය කාරණා අපේ නීති පද්ධතිය තුළ තියෙනවා. මේ වගේ අවස්ථාවලදී ක්‍රියා කළයුතු ආකාරය ගැන, මේවා ගැන අපි පුහුණුවක් දීලා තියෙනවා. ඒකට අදාළ වන සියලුම රාජ්‍ය නිලධාරී අංශවලට, දැන් අපි මේ කියන ඝාතන දිහා බැලුවාම මේ කියන සිදුවීම් අපිට පේන්නෙ වළක්වගන්න පුළුවන්; වළක්වාගත යුතුයි. ඒක සියලුම පාර්ශවයන්ගේ හානිවෙන එකක්.
පොලිසියට විශාල වගකීමක් හා විශාල මහජන කාර්යභාරයක් තිබෙනවා. ඒක කිසිවකුටත් ලඝු කොට සළකන්න බැහැ. ඒ බරපතළ කාර්යභාරයට අපි වටිනාකමක් දෙන්න ඕන. ඒ වටිනාකම දෙනකොට සමහර පොලිස් නිලධාරීන්ව අද වැඩ තහනම් කරලා, නැත්නම් රැකියාව නැතිවෙලා. සමහර පොලිස් නිලධාරීන් හිරේ. ඇයි මේ? ඔවුන් මේ පෞද්ගලික කාරණයක් මුකුත් කරන්න ගිහින් නෙවෙයිනෙ. පොදුවේ සමාජය වෙනුවෙන් ක්‍රියාකරන්න ගිහිල්ල. නමුත් ඒ ක්‍රියාකිරීමේදී අර නීතිය ඉක්මවා නීතියේ තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ගිහිල්ලා ඔවුනුත් අද අගතියට ලක්වෙලා තියෙන්නෙ. සමහරවිට ඔවුන්ගේ පවුල්වල අයත් විවිධ ගැටළුවලට ලක්වෙලා තියෙනවා. එතකොට මේ වගේ සිදුවීම් සියලු පාර්ශ්වයන්ට හානිකර දෙයක්. කොහොමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට මේක ඔරොත්තු දෙන දෙයක් නෙවෙයි. එතකොට වෙන්නේ මේ සමාජයේ ක්‍රමානුකූලව ප්‍රචණ්ඩත්වය කරා අපි මාවතක් විවෘත කරනවා.
මෙන්න මේක නිසා තමයි, මේ කියන කාරණා පාදක කරගෙන තමයි, මානව හිමිකම් කොමිෂන් සභාව හැටියට මේ අත්අඩංගුවට ගැනීමට පූර්වයෙන්, අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී, අත්අඩංගුවට ගැනීමෙන් පසුව, අත්අඩංගුවට ගැනීමෙන් පසු කරන විමර්ශන ක්‍රියාවලියේදී කොයි ආකාරයෙන් ක්‍රියාකළ යුතුද යන්න මේවායේ සඳහන් කරලා තියෙන්නෙ. මොකද මනුෂ්‍ය ජීවිතේ අපි දන්නවා මානව හිමිකම්වලට අමතරව මානවවාදී නීතිය තියෙනවා. මේකෙ 3 වන වගන්තියේ තියෙනවා, ‘සිරකරුවෙක් යුද්ධෙකදී උනත්, අපිව මරන්න එන කෙනෙක්, මරාගන්න එන අය වුණත් එහෙම කෙනෙක් අත්අඩංගුවට ගත්තත් ඔහුට කොහොමද සළකන්න ඕන කියලා. ඔහුට කෑම දෙන්න ඕනේ, ඔහු රෝගී නම් ඔහුට ප්‍රතිකාර අරන් දෙන්න ඕන. මෙහෙම තමයි අද මේ මිනිස් සමාජය දියුණු වෙලා තියෙන්නෙ. මේක නීතිමය ඇසකින් නෙවෙයි බලන්න ඕන. නීතිමය ඇස වගේම මානව ඇසකින් බලන්න. අපියි සත්තුයි වෙනස් වෙන්නේ මෙන්න මේ කියන ශිෂ්ටාචාරයේ, මානව වටිනාකම් කොච්චර ගරු කරනවද, මානව වටිනාකම් වලට ප්‍රමුඛත්වයක් දෙනවද කියන කාරණය උඩ. එහෙම නැත්නම් අපිත් සත්ව විශේෂයෙන් වෙනස් වෙන්නේ නැහැ.
ඉතිං ඒ වගේම මේ කියන ආකාරයෙන් ක්‍රියාකිරීම තුළ මිනිස් ඝාතන අධිකරණ ක්‍රියාවලින් තොරව නවතිනවා වගේම ඒ ක්‍රියා කරන නිලධාරීන්ට වෙන හානියත් වැළකෙනවා. දෙපාර්ශවයටම අවසාන වශයෙන්ම ගත්තම සියලු පාර්ශවයන්ට යහපතක් තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා, මේක මාර්ගෝපදේශ කාරණා ඔවුන්ගෙ තිබෙන බලතල අභියෝග කිරීමක් නෙවෙයි. සැබෑවටම තිබෙන නීතිමය තත්ත්වයක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව තමයි මේ මාර්ගෝපදේශන වල තියෙන්නෙ. අපේ පරණ සාජන් මහත්වරු කියන්නේ, “සර් අපි අත්අඩංගුවට ගන්නෙ දැල එළලා. සාක්ෂි හොයලා විමර්ශනය කරලා අත්අඩංගුවට ගන්නෙ. එතකොට එයාලට ඒකෙන් පනින්න බැහැ”. පොලිස්පතිතුමත් හොඳ විමර්ශන නිලධාරියෙක් හැටියට නමක් තිබෙනවා. දැන් බොහෝ විට අපිට දකින්නට ලැබෙන්නේ අත්අඩංගුවට අරගෙන සාක්ෂි හොයනවා. දැන් මේ ක්‍රමවේදයත් හේතු වෙලා තියෙනවා මේ වගේ දේවල්වලදී හානිකර තත්ත්වයන් ඇතිවෙන්න.
ඉතින් ඒක නිසා කොමිෂන් සභාව හැටියට අපි දැන් මේ සමහර ඒව කියන්නෙ සමහර මිනිස්සු මේක යුක්ති යුක්ත කරනවා, ‘එයා ත්‍රස්තවාදියෙක්, එයා අපරාධකාරයෙක්, එයා කොහොමද, ඒ අපරාධකාරයො ඉඳල මොනව කරන්නද කියලා. ඒ නිසා මේක මෙහෙම කියල යුක්ති යුක්ත වන සමහර වාතාවරණයක් තියෙනවා. නමුත් ඒක කියලා අවසාන ප්‍රතිඵලය වෙන්නේ හානියක් නිසා ඒ වගේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණවලදි කියන්නේ මරණ බයක් ඇති වුණා ඒකට අපි ප්‍රතිප්‍රහාර කළා කියලා. ඒකට පොලිසියට තියෙනවා බලතල. ඒ බලතල යෙදීමේ දී අවශ්‍ය බලය හා ඒ අවශ්‍ය බලය කවර වෙලාවක නීතිය ඉක්මවා යන්නේද, ඒක වදහිංසාවක් බවට පත්වන්නේ කවර සීමාවකදීද යන්න අපි අදුරගන්න ඕන. ඔබට තියෙන අවශ්‍ය බලය යොදන්න සම්පූර්ණයෙන්. ආත්ම ආරක්ෂාවෙ ඉඳලා ඒකට ඉඩ තියෙනවා. නමුත් ඒකට ඒ යොදන ඒ අනිත් පැත්තෙන් එන ප්‍රතිචාරයට සමානුපාතික වෙන්න ඕන. පොල්ලකින් ගහන එක්කෙනෙකුට වෙඩි තියලා මරණ එක සමානුපාතික වෙන්නෙ නැහැ. ඉතින් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ අපේ විනිශ්චකාරවරුන් පස්දෙනෙකු දීපු නඩු තීන්දුවකදී, ඉන්ද්‍ර කුමාර සිල්වා එදිරිව නීතිපති කියන නඩු තීන්දුවේදී, අඟුලාන නඩුව කියලා අපි ප්‍රසිද්ධියේ දන්න නඩුවෙදි, විනිශ්චකාරයෝ පස්දෙනෙක් කිව්වේ එහෙම තර්ජනයන් කොච්චර සමානුපාතිකද නැද්ද යන්න තීරණය කිරීමේ කාර්යභාරය අයිති වෙන්නෙ අධිකරණයට කියලා. ඒ නිසා අපිට තියනවා බලයක් ඒ බලය නීතිමය සීමාව තුළ සාධාරණව යොදන්න ඕනේ. ඒ සාධාරණව යෙදීම තුළ ඔබට කිසි ගැටලුවක් වෙන්නෙ නෑ. හැබැයි එය සාධාරණව යෙදුවා, සමානුපාතිකයි කියල තහවුරු කිරීමේ හැකියාව තියෙනවා.
ඒක නිසා සමාජයේ අපි ගමන් කරන්න ශිෂ්ටාචාරීව. එතකොට මිනිස් වටිනාකම්වලට අනුව ඒක කළේ මනුස්සයෙක් මිසක් මොකක්ද එයාගේ ජාතිය, මොන ආගමේද, මොන කුලයද, මොන භාෂාවද කතා කරන්නේ කියන එක අද සමාජයෙන් ඉවත් කළයුතු දෙයක්. ඉතින් ඒ නිසා මේ කියන කාරණා පිළිබඳව, මේ මාර්ගෝපදේශ යොමුකරනව සහ මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා, පොලිසියට අපි නිර්දේශ කරනවා මේ සම්බන්ධයෙන් පුහුණුවීම් දෙන්න; ඒ වගේම පොලිසියෙ විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න; මේ ආදී වශයෙන් යම් විවිධ කාරණා ඉදිරිපත් කරල තියෙනව. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ මාර්ගෝපදේශ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.
එය සියලු පාර්ශවයන්ගේ යහපතට හේතුවන කරුණක් කියලා. ඒ විශ්වාසයත් ඇතිව පොලිසිය අපරාධ වැළැක්වීමට කරන සියලුම ක්‍රියාමාර්ගවල දී නීතිමය සීමාව තුළ සම්පූර්ණ සහයෝගය දෙන්න, කොමිෂන් සභාවත් සූදානම් බව මතක් කරමින් මම නිහඬ වෙනව.”