“මා ලඟ දරුණු අවියක් තියෙනවා” මේජර් ජනරාල්වරයෙක් හමුදා නිලධාරීන්ගේ භාර්යාවන්ට කියලා.

සියලුම රාජ්‍ය ආයතන මෙන්ම ආරක්ෂක හමුදාවන් ද ශ්‍රී ලංකාවේ ස්ථාපනය වී තිබෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මතකරගන්නා බලාධිකරයන්ට අනුවය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද ස්තාපනය වී තිබෙන්නේ එවැනි බලාධිකාරියක් ලෙස 1949 අංක 17 දරන පනත යටතේ ස්ථාපනය වී තිබේ. ඒ ආකාරයටම ශ්‍රී ලංකා නාවුක හමුදාව 1950 අංක 34 සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1949 අංක 41 යටතේද ආදී ලෙස ස්ථාපනය කර තිබේ. ඒ අනුව ඒවායේ සේවයට බදවා ගන්නා සේවකයන් කටයුතු කල යුත්තේ එම පනත්වලට අනුව පමණි. එම පනත් පනවා තිබෙන්නේ මහජන ආරක්ෂාව වෙනුවෙන් බැවින්, ඉන් එහාට කිසිම කටයුත්තක් කිරීමට ඔවුන්ට නීතියෙන්ම තහනම් වේ. එසේම ඒ අනුව කටයුතු කරද්දී රටේ පවතින සිවිල් නීතිය ආරක්ෂා කිරීමටද ඔවුන් නීතිමය වශයෙන් බැදී සිටි.

නීතිය සහ පැවැත්ම එසේ තිබිය යුතු වුවත්, ඒවාට පරිභාහිරව වැඩ කරන, නොහොත් නීතියට එරෙහිව කටයුතු කරනා රාජ්‍ය සේවකයන් සේම ආරක්ෂක හමුදා සාමාජිකයන් විශාල වශයෙන් අපට දැකිය හැකිය. ඔවුන් හිතාමතාම තම ආයතන විනාශ කරන නමුත් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට ඊටත් උසස් නිලධාරීන් කටයුතු නොකරන බැවින් මේ විනාශයන් නැවතිය නොහැකිව තිබේ.

මේ ආයතන අතරින් වැදගත්ම වන්නේ ආරක්ෂක හමුදාවන්ය.උත්තරීතර හමුදාවන්  දවසට දෙකට ටිකෙන් ටික විනාශ කර දැමීමට උප්පත්තියෙන් සහ කල්ක්‍රියාවෙන් හැකියාව ඇත්තවුන් හමුදාවන්  තුළ  ඕනා තරම් සිටී. නිලතල ඉණිමං මතින් ඉබේටම ඉහලට යන මෙවැන්නවුන් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කර ඔවුනට වගකීම් සහ තනතුරු තානාන්තර  පිරිනැමීමේදී  නීතියට අනුව සොයා බලා  ක්‍රියා කිරීම හමුදාපතිවරුන්ගේ වගකීම සහ රාජකාරිය වුවත් එසේ සිදුවන්නේ පහල නිලයන් සහ දැන හැදුනුම්කම් මත පමණක් බව පැහැදිලිවම දක්නට තිබේ.

කෙසේ නමුත්  යුද හමුදාපතිගේ නිර්දේශයකින් තොරව  ආරක්ෂක ලේකම්වරයාගේ බලපෑම් මත එවැනි නුසුදුසු කැරොල්  කලු චරිත වගකිවයුතු තනතුරුවල බලෙන් වාඩි කර වීම තුළින් සමස්ත යුද හමුදාවම අපකීර්තියට පත් වූ බව මේජර් ජෙනරාල් මෙත්තානන්ද සහ මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා පිලිවලින් පොදු සේවා බලකා සහ පොලිස් හේවා බලකා වල  බලකාධිපති  තනතුරු වලට පත් කර තිබෙන බවද විවිධ මාධ්‍ය තුලින් අපට දක්නටත්, ඇසීමටත් හැකිවිය.ඒවා එසේ නොවිය යුතු වුවත් මේ ශ්‍රී ලංකාද්වීපයේ එසේ සිදුවන්නේ තවත් විනාශයන් කරා ගමන්කරමිනි.

යුධ හමුදා නිලධාරීන්ගෙන් අපට ලැබුණු ලිපියක්.

යුධ හමුදාධිපති ආර්යාවගේ අවධානයට මෙම ලිපිය යොමුකර තිබේ. (සමහර කරුණු අප විසින්ම තවුරුකරගෙන තිබේ)

යුද හමුදා සේවා වනිතා සභාපතිනිය ලෙස ඔබතුමිය මෙම  තුච්ච අමන කුජීත පහත් නීච ක්‍රියාව සබැඳිව අනිවාර්යෙන් සොයා බැලිය යුතුය .මක්නිසාදයත් එය හුදෙක් ඔබගේ  තනතුරෙන්ම පැවරෙනු ලබන වගකීම  පමණක් නිසාම  නොවන මුත් සදාචාරාත්මකව වින්දිත  හමුදා භාර්යාවන්  මුහුණ දුන් අපහසුතාවයට ඔවුන්ගේ නායිකාව ලෙස ඔබ නිරායාසයෙන්ම වග උත්තර කාරියක් වන බැවිනි.

ඔබ සේවාවනිතා ශාඛාව යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකා  සේවාවනිතා ශාඛාවේ මහා සභා රැස්වීම සහ මේජර් ජෙනරාල් මෙත්තානන්දගේ 54 වන උපන්දින  සැමරීම එකම දිනක එනම් පසුගිය 26 වන දින එකම ස්ථානයක පැවැත්වීමට කටයුතු කිරීම ව්‍යවස්ථානුකූල නොවන අතර උපන්දින සාදයෙ වියදම් සේවා වනිතා සාමාජිකාවන් විසින් දැරිය යුතු බවට අණ දීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙන්නෙමු.

සාම්ප්‍රදායික  මෙන්ම නෛතිකව සේවා වනිතා මහා සභා රැස්වීමේදී එම ශාඛා සභාපතිනිය ලෙස බලකාදිපති මෙත්තානන්දගේ භාර්යාව හට මහා සභා රැස්වීම ඇමතීම නෛතික සහ ව්‍යවස්ථානුකූල නමුත් වියවස්තාවේ හෝ අන් කිසිදු නීතිමය රාමුවක නොමැති ලෙස එම මහා සභාවට පැමිණි  හමුදා භාර්යාවන් ඇමතීමට බලකාදිපති ලෙස මේජර් ජෙනරාල් මෙත්තානන්ද හට වරප්‍රසාදයක් නොමැති පසුබිමක  බලහත්කාරයෙන් රැස්ව සිටි නිලධාරීන්ගේ  සෙසු නිළියන්ගේ  බිරින්දැවරුන් සහ කාන්තා නිලධාරිනියන් ඉදිරියේ ජේෂ්ඨ නිලධාරියෙකුට නොගැළපෙන ආකාරයෙන් දෙපැත්ත කැපෙන වචන භාවිතා කරමින් වෙනත් අසභ්‍ය යමක් අර්ථ ගන්වන්නාක් සේ…

” මං ගාව භයානක අවියක් තියෙනවා  මට ඕනේ වෙලාට තමයි ඒක මං ඕගොල්ලන්ට පාවිච්චි කරන්නේ”, යනුවෙන් ප්‍රකාශ සිදු කිරීම පිළිකුල් සහගත බව පෙන්වා දෙන්නෙමු. (මේ සදහා හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ගේ  පටිගත කිරීම් කිහිපයක් අප විසින් ලබාගෙන තිබේ)

මේජර් ජෙනරාල් මෙත්තානන්ද පිළිබඳ පෙර කියවීමේදී කිසිදු පිළිකුලකින් හිරිකිතකින් තොරව කාන්තාවන් ඉදිරියේ අසභ්‍ය වචන භාවිතා කළ අවස්ථාවන් නම් එමටය. ඒ අතර පසුගිය වකවානුවේ සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වූ වීඩියෝ පටය සාක්ෂි දරනු ඇත.

එහිදී සියලු නිලධාරීන් සහ නිලධාරිනියන් ඉදිරියේ,  

“මගේ නම මෙත්තානන්ද  මට කියලා “මෙ” යන්න අයින්  කරලා” … ” යන්න දාගන්න එපා”, යනුවෙන් පිළිකුල් සහගත ප්‍රකාශයක් ඔහු විසින් සිදු කළද  ඒ සබැඳිව සබැඳිව යුද හමුදාපති ක්‍රියා නොකිරීම  ඔහුගේ මෙම අමන ක්‍රියාවන්ට ලබාදුන් උත්තේජකයක් බව පෙන්වා  දෙන්නෙමු.

රාත්‍රී 12 පසුවනතුරු හමුදා භාර්යාවන් බලෙන් රඳවාගෙන.

සේවා වනිතා මහා සභා රැස්වීම අවසන  හමුදා නිලධාරීන්ගේ භාර්යාවන් නිවෙස් වලට යෑම වළකාලමින් පෙරදින රාත්‍රියේ දොළහට උදාවූ උපන්දිනය සඳහා  උපන් දිනය දින රාත්‍රියේ දොළහට කේක් ගෙඩිය කැපීමට යොදා ගැනීමම ඔහු මන්ද මානසිකත්වයෙන් පෙලෙන  උම්මත්තක වූ බව මොනවට ඔප්පු කරන්නේද?

මවක, ගෘහණියක කොටින්ම කාන්තාවකගේ කාර්යභාරය සහ අවශ්‍යතාවයන් හඳුනා නොගත්  මෙත්තානන්ද යුවළ  අ පො ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ  හමුදා මව්වරුන් පවා නිවෙස්වලට යෑමට ඉඩ නොදී රාත්‍රී 12 පසුවනතුරු  අමානුෂික ලෙස රඳවා තබා ගැනීම සදාචාරාත්මක සම්පන්නද  යන්න  සමස්ත හමුදා බිරින්දෑවරුන්ගේ  නායිකාව වන හමුදාපති බිරිඳගෙන් විමසීමට කැමැත්තෙමු.

නිලධාරීන්ගෙ  විරෝධය මැද වැටුපෙන් රුපියල් 1000 බැගින් මාස ගානක් කපාගෙන

 බඩට දැනෙන ආර්ථිකයකට රටම මුහුණදී ඇති අවස්ථාවක රාජ්‍ය සේවයක් වන හමුදා  නිලධාරීන්ට ලැබෙන සුලු වැටුප නීති විරෝධී ලෙස හමුදා මූල්‍ය අණ පනත් චර්යා නියෝග අමු අමුවේ දූෂණය කරමින් මංකොල්ල කෑම පිළිබඳ යුධ හමුදාපතිගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමු.

යුද හමුදා පොදු සේවා  බලකායේ 600 කට ආසන්න හමුදා නිලධාරීවරුන් ගෙන් මාස 5ක කාලයක්  රුපියල් 1000  බැගින් ගොඩනැගිල්ලක් සෑදීමට යැයි පවසමින් මංකොල්ලකෑම  හමුදා නීතියට අනුකූල ද යන්න හමුදාපතිගෙන්  වැඩිදුරටත් දැනගැනීමට කැමැත්තෙමු, ලෙස එම ලිපියේ සදහන් වේ.

ආරක්ෂක ලේඛම්තුමනි, යුධ හමුදාධිපතිතුමනි, අපගේ අනාවරණයන්වලට අදාළ විසදුම් මෙන්ම, සිදුකරනුලබන වැරදි තව දුරටත් සිදුකරන්නේ නම් අපටද මේවා දිගින් දිගටම ලිවීමට සිදු නොවේ. කල යුත්තේ, මේ අකටයුතුකම් ගැන සොයා බලා, ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමය. ගෝලීයකරණය වූ ලෝකය තුල මේ ගැටළු නොවිසදා සිටීම යනු, දිගින් දිගටම මෙවන් ප්‍රශ්න අපටත්, වෙනත් ආයතනවලටත් ලැබීම වැලැක්විය නොහැකිවනු ඇත. එසේම ලංකාවේ මාධ්‍ය මගින් මේවා ප්‍රචාරය නොකලහොත් පීඩිත පන්තිය අනතර්ජාතිකව හෝ මේවා ජනගතකරනු ඇත. ගෝලීයකරණයේ වෙනස එයයි. ඒවා එසේ නොවීමට නම්, දැන්වත් අප දිගින් දිගටම පෙන්වා දී ඇති කරනු දෙස අවධානය යොමුකර නිසි කටයුතු සිදුකල යුතුව තිබේ.

(මෙම ලිපියෙහි යම් වරදක් තිබේනම් ලිඛිතව අප වෙත ලබා දී නිවැරදි කරගැනීම, හෝ මේ ලිපියට යම් පිළිතුරක් ලබා දී එය පලකරවාගැනීම ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකගේ, සහ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම  වේ)

Exit mobile version