ඊයේ (8වැනිදා) එංගලන්තය සහ නෙදර්ලන්තය අතර පැවති එක්දින ලෝක කුසලාන තරගයේදී, පෙර තරගයේ ඇන්ජලෝ මැතිව්ස්ට මුහුණු දීමට සිදුවූ ආකාරයෙන්, නව පිතිකරුවෙකු වශයෙන් පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්ගේ ආරක්ෂිත හිස්වැසුමේ ගැටළුවක් මතු වූ නමුත් ඇන්ජලෝගේ ඉරණමට ලක් නොවී ඔහු එය පිටියේ විනිසුරු වෙත දන්වා සකස් කර ගන්නා ආකාරය කාගේත් අවධානයට ලක් වී තිබේ.
වාර්තා වන ආකාරයට තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයේ 6වන කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව පිටියට පිවිසි ක්‍රිස් වෝක්ස් පිටියේ සිටි බෙන් ස්ටෝක්ස් සමඟ කතාබස් කරමින් සිය ආරක්ෂිත හිස්වැසුම පැළඳ ගන්නා නමුත් එහි යම් ගැටළුවක් හේතුවෙන් නැවත ගලවන ආකාරය දක්නට ලැබූ අතර ඉන් අනතුරුව විනිසුරු වෙත පැමිණි ඔහු සිනාසෙමින් යම් කතාබහක නිරත වූ අතරවාරයේ හිස්වැසුම සකසා ගෙන පිතිකරණයට සීමා ඉර වෙත පැමිණ තිබේ.නමුත් මෙහිදී කාලය ඉක්මවා යෑම ගැන පැමිණිල්ලක් නෙදර්ලන්ත කණ්ඩායමෙන් නොලැබී තිබේ.
නමුත් මීට පෙර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේදී මේ ආකාරයෙන්ම නව පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ හිස් වැසුමේ ආරක්ෂිත පටිය කැඩුණු අතර එහිදී පිතිකරණය සඳහා සූදානම් වීම සඳහා නියමිත මිනිත්තු දෙකක කාලයට වැඩි වේලාවක් ගැනීම හේතුවෙන් ජාත්‍යන්තර පිටියේ ‘වේලාව ඉක්මවීම’ වරද යටතේ දැවී ගිය පළමු ක්‍රීඩකයා වීමට ඇන්ජෙලෝට සිදු විය.