අද (06) පෙරවරුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී එකම පවුලේ තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන් තිදෙනා ගලේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය සඳහන් කළේ.
මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්රදේහයේ අද උදෑසන සිදුකරන ලද මෙම වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.
වයස අවුරුදු 51 වන පියා සහ වයස අවුරුදු 23 සහ 24 වියෙහි පසු වූ පුතුන් දෙදෙනා මෙසේ ඝාතනයට ලක්ව ඇත.
මේ වන විට අනාවරණය වී ඇති පරිදි මෙම පුද්ගලයින් තිදෙනා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට මීට මාස කිහිපයකට ඉහතදී ඇප මත මුදාහැර සිට ඇත.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදී සරුංගලයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඝාතන සිදුව ඇති බවයි.
එම සිදුවීම මුල්කර ගනිමින් මේ වන විට සිදුව ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 06ක් බව ද අනාවරණය වී ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් 2017 වසරේ අගෝස්තු මස 26 වනදා පළමුවරට පිය පුතු දෙපළක් ඝාතනයට ලක්ව ඇති අතර වැඩිදුර තොරතුරු වාර්තා වී ඇත්තේ ඊට සම්බන්ධ තවත් පිය පුතු දෙපළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඒ අතුරින් එක් අයෙක් ද 2018 වර්ෂයේ අගෝස්තු මාසයේ දී වෙඩිතබා ඝාතනය කර ඇති බවයි.
ඉන් අනතුරුව පසුගිය වසරේ ජුනි මාසයේ දී ඒඑම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන තරුණයෙකු ඝාතනය වී තිබූ අතර අද දිනයේ මෙසේ ඝාතනයට ලක් පිය පුතු තිදෙනාට ඒ සඳහා චෝදනා එල්ලව තිබූ බව වාර්තා වේ.
කෙසේ නමුත් මෙම ඝාතනය සඳහා ටී 56 ගිනි අවියක් යොදාගෙන ඇති බවයට පොලිසිය සැක පහළ කරන අතර ඝාතනය සඳහා සැකකරුවන් මෝටර් රථයක් සහ යගුරුපැදියක් යොදාගෙන ඇති බව ද මේ වන විට අනාවරණය වී ඇත.
අද සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය එක් පුද්ගලයෙකුගේ දේහය මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අනෙක් දෙදෙනාගේ දේහයන් ඝාතනය සිදු වූ ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ ඇත.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ සිදුකරයි.