රුපියල් කෝටි හත හමාරක මුදලක් නීති විරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් සමග හුවමාරු කිරීමට ගිය තරුණයන් හත්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
චීන ජාතිකයන් පිරිසක් ගිනි අවි සමග කොළඹ තුනෙහි පිහිටි තරු පන්තියේ හෝටලයක රැඳී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලද තොරතුරක් අනුව මෙම මෙහෙයුම සිදුකර ඇති අතර ඒ අනුව විමර්ශන කණ්ඩායමක් ඊයේ (07) පස්වරුවේ අදාළ හෝටලයේ පස් වැනි මහල පරීක්ෂා කිරීමේදී එහි සිටි ලාංකික තරුණයන් 07 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .
ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී පිස්තෝලයක් සහ රුපියල් කෝටි හත හමාරක මුදලක් ද සොයාගෙන තිබේ .
නමුත් ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි කිසිදු චීන ජාතිකයෙකු රැඳී නොසිට ඇති අතර සැකකරුවන් පැමිණි අධිසුඛෝපභෝගී මෝටර් රථ දෙකක් විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ .
සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් සියලු දෙනාම රාගම ප්රදේශයේ පෞද්ගලික සමාගමක සේවකයන් බවයි.
එම ආයතනයෙන් ලබාගත් මුදල් චෙක්පතක් මාරු කර ඔවුන් අදාළ මුදල ලබාගෙන ඇති අතර එම මුදල ඇමෙරිකානු ඩොලර් සමග හුවමාරු කිරීමට රැගෙන පැමිණි බව සැකකරුවන් විමර්ශන නිලධාරීන් හමුවේ ප්රකාශ කර තිබේ.
එමෙන්ම ඔවුන් සතුව තිබූ රුපියල් කෝටි හතහමාරක මුදලින් ඩොලරයක් රුපියල් 316 බැගින් ලබාගෙන නැවත ඩොලරයක් රුපියල් 320කට අලෙවි කිරීමට සූදානමින් සිටි බවත් සැකකරුවන් ප්රකාශ කර තිබේ .
අවස්ථා කිහිපයකදී සැකකරුවන් පිරිස එලෙස මුදල් විශුද්ධිකරණ කටයුතු සිදුකර ඇති බව විමර්ශන නිලධාරීන් හමුවේ පාපොච්චාරනය කර ඇති අතර සැකකරුවන් පිරිස අද (08) දහවල් කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වේ .