මුල්‍ය විනයක් නොමැති ක්‍රිකට් ආයතනය

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ඊයේ (23 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු මෙරට ජාතික ක්‍රීඩා සංවිධානයක් බවත් එම ආයතනයේ නිලධාරීන්ට රිසි සේ එහි අරමුදල් අවභාවිතා කිරීමට හැකියාවක් නොමැති බවයි.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් එම ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ගොනුකළ පෙත්සම ඊයේ (23 වැනිදා) සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා තිබේ.

පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදි එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ජාතික ආයතනයක් බවත් එහි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විගණකාධිපතිවරයාට බලයක් තිබෙන බවත් සඳහන් කර තිබේ.

‘‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. එම ලියාපදිංචිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අදාළ ආයතනය තුළ මුල්‍ය විනයක් තිබිය යුතුයි. විගණන පනත යටතේ එම ආයතනයේ කටයුතු විගණනයට කිරීමට රජයේ විගණකාධිපතිවරයාට බලය තිබෙනවා. තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පමණක් වගකියන බව පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු පනතක් යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. ක්‍රිකට් ආයතනයේ පාලකයින්ට එහි අරමුදල් හිතුමතේ පරිහරණය කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට රාජ්‍යය සමග වගවීමක් තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් ලබා දෙන්නේ එය රජය නියෝජනය කරන ජාතික ආයතනයක් නිසයි’’ යනුවෙන් ද හෙතෙම සඳහන් කර තිබේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක ජෙනරාල්වරයා ‘‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීමට පෙර එම ආයතනය වෙත ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නොතීසි ලබා නොදුන් බවට පෙත්සම්කරු චෝදනා කර තිබුණා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශන වාර්තාවේ කෙටුම්පතක් එම ආයතනයට ලබා දී කරුණු විමසා සිටියා.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධි පතිවරයා විසින් නිකුත් කළ විමර්ශන වාර්තාව මගින් දූෂණ, අක්‍රමිකතා හා අවිධිමත් ක්‍රියා රැසක් අනාවරණය කර තිබෙනවා. මේ විගණන වාර්තා කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභියෝගයට ලක් කර නැහැ. තමන් ජන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ බව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා. රජයේ විගණකාධිපති වාර්තාව මගින් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මනාව පැහැදිළි වෙනවා. විගණන පරීක්ෂණයේදී ඊට අවශ්‍ය තොරතුරු ලබා දීම ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් පැහැර හැර තිබෙනවා. ප්‍රශ්නගත කාරණා සම්බන්ධයෙන් පිළිතුරු දීම ඔවුන් මගහැර තිබෙනවා’’ යනුවෙන් ද පවසා තිබේ.

‘‘මෙම අතුරු තහනම් නියෝග ලබා ගැනීමේදී පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන් කර තිබෙනවා. ඔවුන් විගණකාධිපති වාර්තාව පිළිබඳව අධිකරණය හමුවේ කිසිවක් සඳහන් කළේ නෑ. එය හිතාමතාම වසන් කරමින් තමා ඔවුන් මේ අතුරු තහනම් නියෝග ලබාගෙන තිබෙන්නේ. මෙම විගණන වාර්තාව මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහායි පෙත්සම්කරු මේ නඩුකරය ඉදිරිපත් කර තිබෙන්නේ”.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම අද (24 වැනිදා) තෙක් කල් තැබිණි.

Exit mobile version