‘යුකිතිය’ දීප ව්‍යාප්ත විශේෂ පොලිස් මෙහෙයුමට සම්බන්ධ වධහිංසා, කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැළකීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධානය යොමු කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියා සිටියේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සහ භයානක මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම වැදගත් අරමුණක් බව පිළිගන්නා නමුත් මෙම මෙහෙයුම පුළුල් අසාධාරණයක් පිළිබඳ වාර්තා සමඟ සම්බන්ධ වී ඇති හෙයින් කණස්සල්ලට පත්ව ඇති බවයි.
“අපරාධ විමර්ශනය කිරීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වගකිව යුතු පොලිස් නිලධාරීන් සෑම විටම මෙම අයිතියට ගරු කළ යුතු අතර, සැකකරුවන්ට ගෞරවයෙන් සැළකිය යුතුය. පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී තරුණයන් ඇතුළු පුද්ගලයන්ට කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත ලෙස සැළකීමේ වාර්තා ගැන දැනගැනීමෙන් කොමිසම කැළඹී සිටිනවා. ඒ අනුව එවැනි වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසම පියවර ගනිමින් සිටිනවා.” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කර ඇති මෑතකාලීන අධ්‍යයනය සහ බන්ධනාගාරවල තදබදය පිළිබඳ ගැටලුව විසඳීම සඳහා එහි නිර්දේශ පෙන්වා දුන් මානව හිමිකම් කොමිෂන් සභාව, ඉහත කී ‘යුක්තිය’ මෙහෙයුම යටතේ අත් අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් මෙම ගැටලුව තවත් උග්‍ර කරනු ඇති බව සඳහන් කරයි.
යුක්තිය තහවුරු කිරීමට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීමට ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ක්‍රමානුකූලව අසමත් වීම හමුවේ, ‘යුක්තිය’ ඉදිරියට ගෙන යාමේ පරමාර්ථය ඇතිව ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නොගැළපෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.
එබැවින් නීතිය ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රවේශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත් නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම සඳහාත් මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහාත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අර්ථවත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන්, මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. (සිලොන්වයර්)