යක්රේනයේ දකුණුදිග මරියපොල් වරාය නගරයේ මේ වනවිට වීථි සටන ඇවිලී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. රුසියානු හමුදාවල අඛන්ඩ ප්‍රහාර හේතුවෙන්, මිසයිල ප්‍රහාරයකින් කඩාවැටුණු රඟහලේ රැකවරණය ලැබූවන් මුදාගැනීමේ මෙහෙයුම අඩාල වී ඇති බවයි යුක්රේන රජය සඳහන් කරයි.
රුසියානු හමුදා වැළැක්වීමට යුක්රේන සන්නද්ධ බලකායන් සියලු උත්සාහයන් දරණ බවද මරියපොල් නගරාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර රුසියානු ආක්‍රමණය ආරම්භවීමෙන් පසු මේ වනවිට තිස් තුන් ලක්ෂයකට අධික පිරිසක් යුක්රේනය අත්හැර වෙනත් රටවල් වෙත පලාගොස් ඇති බව ජගත් සංවිධානය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම සඳහන් කරන පරිදි පසුගිය පෙබරවාරි 24 වනදා සිට එලෙස රට හැර ගිය සංක්‍යාව තිස් තුන් ලක්ෂ විසි අටදහස් හයසිය අනූ දෙකක්.
බෝම්බ ප්‍රහාර, ගුවන් ප්‍රහාර සහ ඉවක් බවක් නොමැතිව සිදුකරන විනාශය හේතුවෙන් බීයපත්වී සිටින ජනයා මෙලෙස පලායන බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ ප්‍රධානී ෆිලිපෝ ග්රාන්ඩි ප්‍රකාශ කළා.
මෙලෙස පලා යන පිරිස අතුරෙන් සියයට 90 ක්ම කාන්තාවන් සහ ළමයින් වන අතර, අවුරුදු 18 ත් 60 ත් අතර යුක්රේන පිරිමි ජනගහණයෙන් වැඩි කොටසක් රට රැකගැනීම සඳහා තවදුරටත් එහි රැඳී සිටිනවා.
ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනය සඳහන් කරන පරිදි තවත් හැටපන් ලක්ෂයකට ආසන්න යුක්රේන ජාතිකයන් තම රට තුළ අවතැන්වී සිටිනවා. රට හැර ගිය සෑම යුක්රේන ජාතිකයන් දස දෙනෙකුගෙන් හයදෙනෙකුම පෝලන්තයට ළඟාවී ඇති අතර, එම සංඛ්‍යාව මේ වනවිට විසි ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මේ අතර ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට ඊයේ ළඟාවූ රුසියානු ගගනගාමීන් යුක්රේන ධජයේ වර්ණ සහිත ඇඳුම්වලින් සැරසී සිටීම පිළිබඳව රුසියානු අභ්‍යවකාශ ආයතනයේ ප්‍රධානියා පැහැදිළි කිරීමක් කර තිබෙනවා.
ඔහු කියා සිටියේ ඔවුන් රුසියාවේ යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කිරීම සඳහා එලෙස කහ සහ නිල් පැහැයෙන් සැරසී සිටි බවට බටහිර මාධ්‍ය සිදුකරන ප්‍රචාරය අසත්‍ය බවයි. කෙසේ නමුත් අභ්‍යවකාශ චාරිකාව සඳහා තමන් කැමති වර්ණ තෝරාගත් බව ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය වෙත ගිය රුසියානු ගගනගාමීන් ඊයේ ප්‍රකාශ කළා.